Sunday, December 22, 2024
HomeBiz NewsHNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2024 විකුණුම් සමුළුව (Sales Convention) පවත්වයි..

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2024 විකුණුම් සමුළුව (Sales Convention) පවත්වයි..

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023/24 කාලය තුළ සිය විකුණුම් බලකාය විසින් අත්පත් කරගත් දැවැන්ත සාර්ථකත්වය සමරමින් 2024 වසරේ විකුණුම් සමුළුව පසුගියදා මීගමුව ග්‍රෑන්ඩීසා හෝටලයේදී පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සහ HNB ඇෂුවරන්ස් පී එල් සී සමාගමේ සභාපති ස්ටුවර්ට් චැප්මන් මහතා සහ එම සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය, විධායක කමිටුවේ සාමාජිකයින් සහ සමාගමේ කළමනාකාරීත්වය, විකුණුම් බලකාය සහභාගී වූහ.

‘නව්‍යකරණය හරහා නොනවතින ප්‍රගතිය කරා’ (Innovate and Elevate) යන තේමාව යටතේ පැවත්වුණු මෙම විකුණුම් සමුළුව පිළිබඳව සඳහන් කරමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ අද දක්වාම අඛණ්ඩවම අප විසින් හිමි කරගෙන තිබෙන සාර්ථකත්වයට හේතුව වන්නේ අපේ විකුණුම් බලකායේ දක්ෂතාවයයි. විශේෂයෙන්ම අභියෝගාත්මක කාල සීමාවක් තුළ ඔවුන් දැක්වූ කැපවීම සහ ඔවුන් අත්පත් කරගත් සාර්ථකත්වය අගය කිරීම 2024 HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් විකුණුම් සමුළුවේ අභිප්‍රායයි.”

“HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වශයෙන් අපි විශිෂ්ටත්වය හඳුනාගැනීමට සහ ඊට නිසි ගෞරවය ලබා දීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා. පසුගිය කාල පරිච්ඡේදය තුළ අපේ සාර්ථකත්වයට උරදුන් අපේ විකුණුම් බලකායේ සාමාජිකයින්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය අගය කිරීම ඉලක්ක කරගත් විකුණුම් සමුළුව ඉතා වැදගත් අවස්ථාවක් වන්නේ එනිසයි. ඉදිරියටත් අඛණ්ඩවම සාර්ථකත්වය ඉලක්ක කරගෙන කැපවීමෙන් කටයුතු කිරීමට මෙම අගය කිරීම ඔවුන්ව දිරිමත් කරනු ඇති.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී/සාමාන්‍යාධිකාරී, සම්පත් වික්‍රමාරච්චි මහතා පැවසීය.

2024 විකුණුම් සමුළුවේදී නියෝජිත, බැංකු රක්ෂණ, ආයතනික, තැරැව්, සෘජු, ටකාෆුල්, ව්‍යාපාර, ලීසිං වැනි සියලුම අංශ සඳහා කාණ්ඩ ගණනාවක් යටතේ සම්මාන ප්‍රදානය කෙරිණි. එහිදී විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගත් විකුණුම් බලකා සාමාජිකයින් හට සුපිරි රන් සම්මාන, රන් සම්මාන, රිදී සම්මාන සහ ලෝකඩ සම්මාන වශයෙන් සම්මාන පිරිනමන ලද අතර කලාප සම්මාන හරහා ශාඛා ජාලය තුළ විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගත් සාමාජිකයින් සහ ශාඛාවන් ඇගයීමට ලක් කිරීම සිදු විය. ඒ යටතේ වයඹ 02 කලාපය හොඳම කලාපය වශයෙන් ඇගයීමට පාත්‍ර වූ අතර අම්බලන්ගොඩ ජාතික මට්ටමේ හොඳම සමූහය වශයෙන්ද මීගමුව ශාඛාව හොඳම ශාඛාව වශයෙන්ද ඇගයීමට පාත්‍ර විය. 2024 විකුණුම් සමුළුවේදී විශිෂ්ටතම සාර්ථකත්වයක් අත්පත් කරගත් නියෝජිතයින් 09 දෙනෙක් ප්ලැටිනම් ක්ලබ් සාමාජිකයින් වශයෙන් පත් කරන ලදී.

2024 විකුණුම් සමුළුවේ වර්ණවත්ම අවස්ථාව වූයේ ජාතික සම්මාන ප්‍රදානයයි. එහිදී සියලුම කාණ්ඩවල හොඳම ප්‍රතිඵල දැක්වූ සාමාජිකයින් ඇගයීමට ලක් කෙරුණු අතර කේ.එම්.එස්.එම් කුමාර මහතා හොඳම විකුණුම් නිලධාරියා වශයෙන්ද එස්.එල් අමරසිංහ මහතා හොඳම නොබැඳි විකුණුම් නිලධාරියා (ආයතනික සහ ටකාෆුල්) වශයෙන්ද එම්. දිල්ශාන් මැනුවෙල් මහතා හොඳම විකුණුම් නිලධාරියා (තැරැව්) වශයෙන්ද පී.පී.එස්.එස් ඩයස් මහතා හොඳම විකුණුම් කළමනාකරු (ආයතනික සහ ටකාෆුල්) වශයෙන්ද සම්මානයට පාත්‍ර විය.

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් විකුණුම් සමුළුව සමාගමේ සාර්ථකත්වයට උරදුන් විකුණුම් බලකා සාමාජිකයින් ඇගයීමට ලක් කරන අතරම ඔවුන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඉදිරියටත් සමාගම සාර්ථකත්වය කරා මෙහෙයවීමට දිරිය දෙන සාධකයක් වනු ඇතැයි අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments