SOS ළමා ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ ආචාර්ය හර්මන් මයිනර් මහතාගේ 106 වන ජන්ම දින සංවත්සරය 2025 ජූනි මස 23 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන්, ආචාර්ය හර්මන් මයිනර් මහතා ලොව පුරා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි.
1919 වසරේදී උපන් ආචාර්ය හර්මන් මයිනර් 1949 වසරේ ඔස්ට්‍රියාවේදී ලොව ප්‍රථම SOS ළමා ගම්මානය ස්ථාපිත කළේය. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් දෙමාපිය රැකවරණය අහිමි වූ දරුවන්ට පවුලකට සමාන රැකවරණයක් ලබාදීම එහි මූලික අරමුණ විය. මෙම ආකෘතිය පසුකාලීනව ලොව පුරා ව්‍යාප්ත වූ අතර, මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 138 ක SOS ළමා ගම්මාන සහ එහි අනෙකුත් සහය සේවා ආයතන පිහිටුවා තිබේ.
සෑම වසරකදීම SOS ළමා ගම්මානවල මවුවරුන්, දරුවන්, SOS ළමා ගම්මානයේ රැකවරණය ලබා පිටව ගිය සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය එක් වී මෙම SOS දිනය සමරති. මෙය SOS ළමා ගම්මාන වැඩසටහන බිහිකරමින් එහි නිර්මාතෘතුමන් ලෝකයට ඉටු කළ මෙහෙවර මෙන්ම, පවුලකට සමාන රැකවරණයක් ලබාදීම තුළින් දරුවන්ගේ ජීවිතවලට සිදු වන දීර්ඝකාලීන යහපත ලොවට පෙන්වා දීමට ලැබෙන කදිම අවස්ථාවකි. එමෙන්ම මෙය SOS ළමා ගම්මාන සංකල්පය තවමත් දරුවන්ගේ රැකවරණය සම්බන්ධයෙන් එහි මූලික වටිනාකම් සුරැකීමට කැප වී සිටින බවට මනා සාක්ෂියක් වේ.
“ආචාර්ය හර්මන් මයිනර් මහතාගේ දැක්ම, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට පවුලක් වැනි පරිසරයක් තුළ ඇතිදැඩි වීමට අවස්ථාව උදාකර දීම සඳහා සුවිශේෂී ප්‍රවේශයකට පදනම සකස් කර දුන්නා. SOS දිනය යනු එතුමන් ඉටු කළ මෙහෙවර සහ එමගින් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට සිදු වන යහපත සැමරීමට ලැබෙන මහඟු අවස්ථාවක්.” ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසීය.
SOS-Kinderdorf International හි ගෝලීය රාමුව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන, දෙමාපිය රැකවරණය අහිමි වූ හෝ අහිමි වීමේ අවදානමක් ඇති දරුවන් සඳහා දීර්ඝකාලීන රැකවරණය සපයයි. SOS ළමා ගම්මානවල අධ්‍යක්ෂවරුන්ගේ මගපෙන්වීම සහිතව SOS මව්වරුන් විසින් ඇතිදැඩි කරනු ලබන දරුවන්ට පවුලකට සමාන ආදරයක් හා රැකවරණයක් හිමි වේ. ශක්තිමත් මානව සම්බන්ධතා නිර්මාණය කරමින්, සෑම දරුවෙකුගේම සංවර්ධනයට සවිමත් අත්වැලක් හිමි වන ආකාරයට SOS ළමා ගම්මාන වැඩසටහන් ආකෘතිය නිර්මාණය වී ඇත.
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.soschildrensvillages.lk