Saturday, November 2, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsදැවැන්ත පියවර තබමින් තිරසාරත්වයේ ගමනක නියැලෙන SDB බැංකුව ..

දැවැන්ත පියවර තබමින් තිරසාරත්වයේ ගමනක නියැලෙන SDB බැංකුව ..

ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රය තුළ ඉදිරිගාමී සහ වටිනාකම් කේන්ද්‍ර කරගත් බැංකුවක් වශයෙන් පෙරමුණට පැමිණ සිටින SDB බැංකුව තිරසාරත්වය මූලික කර ගත් ක්‍රමෝපායික දැක්ම හේතුවෙන් සුවිශේෂී වන ආයතනයක් ලෙසින් සැළකිය හැකිය.

විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ පාරිසරික, සමාජයීය සහ පාලන යන අංශයන්හි තිරසාරත්වය වෙනුවෙන් SDB බැංකුව විසින් ඉතා පුළුල් පරාසයක ක්‍රියාකාරකම් රැසක් දියත් කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනයේ, කාන්තාවන් සවිබල ගැන්වීමේ සිට ඩිජිටල් බැංකුකරණය ජනතාව අතරට ගෙනයාම දක්වා පැතිරුණු මෙම ක්‍රියාකාරකම් හරහා සමාජයීය, ආර්ථිකමය සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කිරීමට SDB බැංකුවට හැකි වී ඇත.

පාරිසරික තිරසාරත්වය අතින් ගත් කල SDB බැංකුව විසින් මෑත කාලයේදී ක්‍රියාවට නැංවූ අති සුවිශේෂී වැඩසටහනක් වශයෙන් හැඳින්විය හැක්කේ දේවහන්දිය (නැගෙනහිර) ග්‍රාමය මූලික කරගෙන ක්‍රියාත්මක කළ පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියයි. අක්කර 25කට අධික දැවැන්ත භූමි ප්‍රමාණයක් නැවත වන වගාවට යොමු කරවන මෙම පරිසර ව්‍යාපෘතිය හරහා ගම්මානයේ පවුල් 90ක ප්‍රමාණයකට ද කොස් වැනි වගාවන් සහ ආයුර්වේදීය වගාවන් හරහා අමතර ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලැබීම එහි විශේෂත්වයයි. SDB බැංකුවේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් දියත් වූ මෙම ව්‍යාපෘතිය පාරිසරික මෙන්ම ආර්ථික සහ සමාජයීය තිරසාරත්වය ද එකම ව්‍යාපෘතියක් හරහා උත්පාදනය කරන සුවිශේෂී ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්විය හැකිය.

එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම අතින් SDB බැංකුව දැවැන්ත මෙහෙයක් ඉටු කර ඇති අතර එහිලා සුවිශේෂී වන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතන සමඟ ක්‍රමෝපායික සබඳතා වලට පැමිණ, බලශක්ති වැඩසටහන් සඳහා මූල්‍ය සවිය සැපයීමට SDB බැංකුව විසින් ගෙන ඇති පියවරයි. මේ ආකාරයට දිවයින පුරා ක්‍රියාත්මක දැවැන්ත පුනර්ජනනීය බලශක්ති  ව්‍යාපෘති රැසකට මූල්‍ය සවිය සපයා ඇති SDB බැංකුව ඉන් නොනැවතී සිය බැංකු ශාඛා ජාලය තුළ ද සූර්ය බලශක්තිය යොදා ගැනීමේ හරිත වැඩසටහනක් ආරම්භ කර ඇත. මේ වන විට SDB බැංකුව විසින් හොරණ සහ කලුතර සිය ශාඛාවන්හි එම සූර්ය බලශක්ති පද්ධති සාර්ථකව ස්ථාපනය කර ඇති අතර ඉදිරියේදී එය අනෙකුත් ශාඛාවලට ද ව්‍යාප්ත කරමින් වසර 2030 වන විට තිරසාර පුනර්ජනනීය බලශක්ති ව්‍යුහයක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහනට සිය දායකත්වය නොමඳව ලබා දීමට අපේක්ෂා කරයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම අතරින් එදා මෙදා තුර වැදගත්ම සේවයක් ඉටු කර ඇති බැංකුවක් වශයෙන් SDB බැංකුව ඉදිරියෙන්ම පසුවන අතර විශේෂයෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට දැවැන්ත මෙහෙවරක් බැංකුව විසින් සිදු කර ඇත. ඉතා දීර්ඝ කාලයක් පුරා SDB බැංකුව විසින් මේ සම්බන්ධයෙන් කර ඇති මෙහෙවරට කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් මූල්‍ය සවිය සැපයීමට අමතරව විවිධ වැඩසටහන් රාශියක් හරහා ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාවය සහ කළමනාකරණ දක්ෂතා වැඩිදියුණු කිරීමටත්, ඩිජිටල් බැංකුකරණයට ඔවුන් ග්‍රහණය කරගැනීමට කටයුතු කිරීමත් අයත්ය.

SDB බැංකුවේ මූලාරම්භය ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය හා සබැඳෙන අතර දේශීය ආර්ථිකයට දැවැන්ත සවියක් වන සමූපකාර ව්‍යාපාරය සමඟ සිය සවිමත් සබඳතාවය අඛණ්ඩවම පෝෂණය කරමින් SDB බැංකුව විසින් කරගෙන වැඩකටයුතුද තිරසාරත්වය අතින් වැදගත් මෙහෙවරක් ඉටු කරයි. 2023 වසරේදී පමණක් SDB බැංකුව විසින් සමූපකාර ව්‍යාපාරයේ සමිති සහ සාමාජිකයින් වෙනුවෙන් මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය ඉලක්ක කරගත් වැඩසටහන් හරහා 3200කට අධික පිරිසකට දැනුම සහ පුහුණුව ලබා දී තිබීම මෙයට හොඳම උදාහරණයකි.

අනාගතයට යොමු වූ සමාජයීය වගකීම වෙනුවෙන් කැපවුණු මූල්‍ය ආයතනයක් වශයෙන් SDB බැංකුව සිය ආරම්භක ප්‍රතිපත්ති මත අඛණ්ඩවම පිහිටා සිටිමින් අත්පත් කරගෙන ඇති තිරසාරාත්මක ප්‍රගතිය නැවත මෙනෙහි කරන්නේ ඉතා ආඩම්බරයෙනි. ආරම්භයේ සිට මේ දක්වා පැමිණි ගමනේදී සුවහසක් ව්‍යවසායකයින් සහ ප්‍රජාවන් දියුණුව කරා මෙහෙයවමින් දේශයේ ආර්ථික දියුණුවට ඉටු කළ තිරසාර මෙහෙය ඉදිරියටත් අඛණ්ඩවම පවත්වා ගෙන යාමට SDB බැංකුව සැලසුම් කරන අතර සමෘද්ධිමත් දේශීය ආර්ථිකයට සාඩම්බර කොටස්කරුවෙක් වීමට අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments