asd
Thursday, September 12, 2024
spot_imgspot_imgspot_img
HomeNewsනව දූෂණ විරෝධී නීතියටත් LGBT+ ප්‍රජාව අමතක වේවි ද?

නව දූෂණ විරෝධී නීතියටත් LGBT+ ප්‍රජාව අමතක වේවි ද?

සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රදිකා ගුණරත්න

”පොලිසිය ඉන්නෙ අපේ ආරක්ෂාවට කියල අපිට හිතෙන්නෙ නෑ,” යැයි සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තියක වන අයේෂා පවසයි.

ඇය එසේ පවසන්නේ සහේතුකව ය. සංක්‍රාන්ති සමාජභාවී හෙවත් ට්‍රාන්ස්ජෙන්ඩර් අයෙකු වන අයේෂා, ලංකාවේ පිළිගත් නීතිමය ක්‍රමවේදයට අනුව සංක්‍රාන්තිය සිදුකරගනිමින් සිටින තැනැත්තියකි. ඒ නිසා ඇය තවමත් සිය හැඳුනුම්පතෙහි නම වෙනස් කර ගෙන නොමැත. මේ වන විට ඇය කිහිප වරක්ම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ‘අන් අයෙකු ලෙස වෙස් වළාගෙන සිටීම’ නමැති චෝදනාවට ය. එනම් හැඳුනුම්පතෙහි ඇති පිරිමි නම, ඇගේ බාහිර ස්වරූපය සමග පරස්පර වීම හේතුකොට ගෙන ය.

මහජන නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසිය, ඒ වෙනුවට ඇය නිදහසේ තමන්ගේ පාඩුවේ පාරේ ඇවිදගෙන යන විටත් අත්අඩංගුවට ගත්තේ ය. එය  පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය වෙත රාජ්‍යය විසින් ලබාදී තිබෙන අධිකාරී බලය අපයෝජනය කිරීමකි.

ඒ් 2021 වසරයි. එදා තමන්ට මුහුණ පෑමට සිදු වූ අත්දැකීම අයේෂා තවදුරටත් මෙසේ විස්තර කරයි.

‘‘පොලිසියට යන්න සිද්ධ වෙන හැම අවස්ථාවකදීම මම සෙක්ස් කරන්නෙ කොහොමද කියල ඔවුන්ට දැනගන්න අවශ්‍ය වුණා.  ඒ වගේම ලිංගික අල්ලස් ඉල්ලන අවස්ථාත් තිබුණා‘‘

තමන්ට තවමත් එම සිදුවීම් අමතක කළ නොහැකි බවත්, මානසිකව කඩා වැටෙන අවස්ථාවලදී එවැනි අමිහිරි සිදුවීම් නැවත නැවතත් සිහියට නැගෙන බවත් ඇය තවදුරටත් පැවසුවා ය.

‌උසාවි නොදා ගෙදර යවන කෙටි ක්‍රමයක්!

2019 වසරේ කඩවත මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුවක් අනුව, යම් තැනැත්තෙකු රජයේ රෝහලක විශේෂඥ මනෝ වෛද්‍ය සායනයක සංක්‍රාන්තිය සඳහා ලියාපදිංචි වූ බවට කිසියම් ලේඛනයක් තිබේ නම්, එම තැනැත්තා ව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ය. ඒ මිස, ජාතික හැඳුනුම්පතෙහි නම සහ ලිංගභාවය වෙනස් කර ගෙන නොබීම අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොවේ. නමුත් මෙවැනි අත්අඩංගුවට ගැනීම් තවමත් වාර්තා වේ. රැකවරණ භාරයේ සිටියදී ද ලිංගික අල්ලස්වලට නතුවීමට සිදුවීම ලංකාවේ සුළුතර ලිංගික හා සමාජභාවී ප්‍රජාව මුහුණ දෙන සුවිශේෂී ගැටළුවකි.

මෙසේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් කූඩුව තුළ රාත්‍රිය ගත කිරීමේදී ‘‘පොලිස් ඇපයක් දීලා හෙට උසාවි නොදා ගෙදර යවන්න නම් අපිව සතුටු කරපන්‘‘ යැයි තමන්ට ලිංගිකමය ස්වභාවයේ බලපෑම් කළ බව ද සිය නම් ගම් හෙළි කිරීමට අකමැති තවත් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක පැවසුවා ය. රාත්‍රියේදී කූඩුවෙන් පිටතට ගත් ඇයට, පොලිස් ස්ථානයේ මේසයක් මත නැගී, රාත්‍රී සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉදිරියේ ඔවුන්ගේ උසුළු විසුළු සහ නොමනා ස්පර්ශයන්ට ලක් වෙමින් නර්තනයේ යෙදීමට ඇයට සිදුව තිබිණි.

නව චක්‍රලේඛ සහ මාර්ගෝපදේශන

සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තන් පොලිස් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියේ කාර්යපටිපාටිය සම්බන්ධයෙන් 2023 වසර අගභාගයේදී නව චක්‍රලේඛයක් නිකුත් කළේය. තවද 2023 වසරේ අගභාගයේදී ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ද පොලිසිය LGBT+ (එල්ජීබීටී+) ප්‍රජාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව වෙත මාර්ගෝපදේන නිකුත් කළේය. එයට අනුව සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තන් පොලිස් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ව පොලිස් කූඩුවට දැමීම තහනම් අතර කාර්යපටිපාටීන් ක්‍රියාත්මක කළ යුත්තේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසිනි. නමුත් ක්ෂේත්‍රයේ රාජකාරි කරන හෙවත් සාමාන්‍ය බසින් කියනවා නම් ‘පොලිස් පැට්‍රල්‘ යන ‘රාළහාමිලා‘ මේ පිළිබඳ දැනුවත් ව සිටින්නේ කුමන මට්ටමකට ද යන්න අපැහැදිලි ය. දැනට සති කිහිපයකට පෙර, එම වක්‍රලේඛය සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තන් ඇතුළු ලිංගික හා සමාජභාවී සුළුතර සියල්ල එනම් LGBT+ ප්‍රජාවම ආවරණය වන පරිදි දීර්ඝ කර තිබෙන අතර, බිම් මට්ටමේදී එහි ක්‍රියාත්මක භාවය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවා ය.

ආත්මය ම උදුරා ගැනීම   

‘‘ජීවත් වෙන්න විදිහක් නැති නිසයි මේ ජොබ් එක කරන්නෙ. ජොබ් එකක් තියෙනව නම් මේක කරන්නෙ නෑ. පොලිසිය අපේ තිබෙන හැම දේමත් අරගෙන අපිත් එක්ක සෙක්සුත් කරලා, සල්ලිත් අරගෙන අපේ බෑග් පවා විසි කරලා යනවා.” සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තියක වන නුස්රත් ගේ එම ප්‍රකාශය අන්තර්ගත වන්නේ ‘Asking For My Soul’ හෙවත් ‘ආත්මයම උදුරා ගැනීම‘ යන මැයෙන් සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා යුක්ති ක්ෂේත්‍රයන් හි ලිංගික අල්ලස් පිළිබඳ 2023 වසරේදී  පළ කළ පර්යේෂණ වාර්තාවෙහි ය. සංක්‍රාන්ති සමාජභාවී ලිංගික ශ්‍රමිකයන් ලිංගික අල්ලසෙහි ගොදුරු බවට පත්වීම එහිදී අවධාරණය කර තිබේ.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් සංක්‍රාන්ති සමාජභාවී ලිංගික ශ්‍රමිකයෙකුව රංචු ගැසී දූෂණය කළ අවස්ථාවක් ද මෙම පර්යේෂණ වාර්තාව තුළ හමුවේ.

සාමාන්‍යයෙන්, ලිංගික ශ්‍රමික වෘත්තිකයන් තමන්ට සිදුවූ අපරාධ වරදක් සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි යොමු කළ අවස්ථා ලංකාව තුළ ඉතා දුර්ලභ ය. තනි තනි වශයෙන් ලිංගික ශ්‍රමික වෘත්තියෙහි යෙදීම ලංකාව තුළ අපරාධ වරදක් නොවන බව 2019 වසරේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්, ගිහාන් පිලපිටිය විනිසුරුතුමා ලබාදුන් ඓතිහාසික තීන්දුව තිබියදීත් ඔවුන්ට ආන්තීකරණයේ උපරිමය විඳ දරා ගැනීමට සිදුව තිබේ.  මේ අතර, ලිංගික ශ්‍රමිකයන් අතර ද සිටින සුවිශේෂී කාණ්ඩයක් වන LGBT+ ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අතිරේක අගතියක් ද ක්‍රියාත්මක වන්නේ ඔවුන් සම්බන්ධයෙන් පවතින දැඩි සමාජ අපකීර්තිය ද හේතුවෙනි.

‘‘ෂර්ට් එක ගළවලා පෙන්නන්න කිව්වා‘‘

සිය අධ්‍යාපන සහතික සම්බන්ධ ගැටළුවකට, සංක්‍රාන්ති සමාජභාවී පිරිමි අයෙකු වන කමල්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ගියේ තමන්ගේ විවාහක බිරිඳ ද සමගිනි. එය කෝවිඩ් සමය විය. වයස අවුරුදු විසි ගණන්වල පසුවන ඔවුන් දෙදෙනා ට එක්තරා උසස් නිලධාරියෙකුගේ පැය ගණනක ප්‍රශ්න කිරීම්වලට ලක් වන්නට සිදු විය.

‘‘අපි ට්‍රාන්ස්ජෙන්ඩර් කිව්වාම ඒ නිලධාරියා බොහොම කලබල වුණා. ඒ වගේම කුතුහලයට පත් වුණා. මගෙ බිරිඳට ටිකකට එළියෙන් ඉන්න කියලා මට ෂර්ට් (shirt) එක ගළවලා පෙන්නන්න කිව්වා. මට වෙන කරගන්න දෙයක් තිබුණෙ නෑ. මම රස්සාවකට අයදුම් කරල තිබුණෙ.‘‘ තමන් සමග රැයක් ගත කරන ලෙස එම නිලධාරියා කළ බලපෑම ඔහු මග හැරගෙන තිබුණේ දැඩි වෙහෙසක් දරමිනි.

මේ ලිපියේ විස්තර කරන පළමු සිදුවීමේ පටන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගිය සංක්‍රාන්ති සමාජභාවී තරුණයා දක්වා වූ සියලු සිදුවීම්වලදී ප්‍රකට වන්නේ එම අවස්ථාවේදී අදාළ පාර්ශවයන් දෙක එනම් බලයෙන් වැඩි බලධාරියා සහ බලයෙන් අඩු සේවාලාභියා අතර පවතින විශාල බල පරතරයයි. ලිංගික අල්ලස් අනෙකුත් ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් ආදියෙන් වෙනස් වන එක් ප්‍රධානතම සාධකයක් වන්නේ ද මෙම බල පරතරයේ අසමතුලිතතාවය තුළ බලයෙන් වැඩි පාර්ශවය විසින් අනෙකාව ඉතා සියුම් ලෙස සෘජුව හෝ වක්‍රාකාරයෙන් සිය ග්‍රහණයට නතු කර ගැනීම පිණිස සිය අධිකාරී බලය අවභාවිතා කිරීම වේ.

නීතිය ඉදිරියට නොඑන තරම්

ලිංගික අල්ලස් ඇතුළු LGBT+ තැනැත්තන් මුහුණ දෙන ගැටළුවල සුබලතාවය සහ සුවිශේෂී බව නිසාම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව 2022 වසරේදී එම ගැටළු විමසා බැලීම සඳහා වෙනම ඒකකයක් විවෘත කළේය. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන නීතීඥ මේනකා හේරත් මහත්මිය ප්‍රකාශ කළේ යටත් පිරිසෙයින් LGBT+ ප්‍රජාව මුහුණ දුන් ලිංගික අල්ලස් සිද්ධි 3 ක් පමණ ගතවූ කාලය තුළ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇති බවයි. ‘‘නමුත් අපි නිරීක්ෂණය කළේ, ඔවුන් බොහෝ විට එම පැමිණිලි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවයි.” යැයි ඇය පැවසුවා ය. මේ අතර LGBT+ ප්‍රජාව මුහුණ දෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සිද්ධි 2021 වසරේ පටන් එක්රැස් කිරීමේ යෙදී සිටින DAST සංවිධානයේ ව්‍යාපෘති කළමණාකාරවරිය ලෙස කටයුතු කරන සත්‍යා රාමනායක මෙනෙවිය පැවසුවේ නීතිය ඉදිරියට එම සිදුවීම් ගෙන යාම සඳහා වින්දිතභාවය සමග ජීවත් වන තැනැත්තන් දිරිමත් කළත්, ඔවුන් බොහෝ විට අධිකරණය හමුවට යාම සඳහා මැලි වන බවයි.

”සිදුවීම් ගණනාවක් වාර්තා වෙනවා. නමුත් නීතිය ඉදිරියට යන්න කියල අපිට බල කරන්න බෑ. ඔවුන් තවදුරටත් ඒ් පළාත්වලම ජීවත් වෙන්න ඕනේ. කොහොමටත් ආන්තීකරණයට ලක් වුණු අය විදිහට සහ නීතියෙන් ගැහැට විඳින අය විදිහට ඔවුන් අධිකරණය හමුවට යුක්තිය පතාගෙන යන්න බයයි” යැයි ද ඇය පැවසුවා ය.

LGBT+ ප්‍රජාවට තවමත් දුරස්ථ සිහිනයක්

ලිංගික අල්ලස රටේ විවෘත රහසකි. එසේම එය අපරාධ වරදකි. සාමාන්‍යයෙන් රටේ පුරවැසියන් අපරාධ යුක්තිය පතමින් යොමුවන පළමු ආයතනය පොලිසියයි. නමුත් මෙවැනි සිදුවීම් වාර්තා කිරීමට, එනම් පැමිණිලි කිරීමට බොහෝ විට වින්දිතභාවය සමග දිවි ගෙවනවුන් පොලිසි වෙත යන්නේ නැත. එසේ ගියහොත් ‘යම්කිසි අනුග්‍රහයක් හෝ ත්‍යාගයක් ලබාගැනීමේ අදහසින්‘ යනාදී වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ අල්ලස පිළිබඳ සාමාන්‍ය නීති ප්‍රතිපාදන ඇතුළත් 158 -161 වගන්ති ප්‍රකාරව ඔවුන්ට පුද්ගලික තැනැත්තන් අතර හටගන්නා ලිංගික අල්ලස් සිදුවීම් පිළිබඳ පවා කටයුතු කළ හැකි නමුත් ලිංගික අල්ලස යන වචනය ප්‍රකාශිතව නැති නිසාදෝ නව ලිංගික අල්ලස් නීතිය හෙවත් ‘2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත’ බලාත්මක වීමට පෙර පවා LGBT+ ප්‍රජාවේ ලිංගික අල්ලස් වින්දිතයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළ අවස්ථා අපට හමු නොවන තරම් ය.  ඒ් වෙනුවට, අප ඉහතින් විස්තර කළ අන්දමින් පොලිසිය විසින්  LGBT+ ප්‍රජාවෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීම් පිළිබඳ නම් තොරතුරු ලැබේ.

ලංකාවේ ලිංගික අල්ලස සම්බන්ධයෙන් වෙනම නීතිමය ප්‍රතිපාදන පැවතිය යුතු බවත්, එය පසුගාමී තත්වයෙන් මිදිය යුතු බවත්, ලිංගික අල්ලස වරදේ බලසම්බන්ධයේ පවතින සුවිශේෂී භාවය නිසා එය ලිංගික හිංසනවලින් වෙන්කොට හඳුනාගත යුතු බවත්, ඒ අනුව ‘ලිංගික අල්ලස් දෙන්නේ කැමැත්තෙනි‘යන සමාජ දුර්මතය නීතිය මගින් ම ඉවත් කළ යුතු බවත් ඇතුළු වැදගත් අධිවාචන (ඇඩ්වකසි) රැසක් පසුගිය සමය තුළ සිදුවිය. ඒ සම්බන්ධයෙන් රටේ සිවිල් සංවිධාන, නීතිය පිළිබඳ විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් විසින් වැදගත් වැඩ කොටසක් ඉටු කර තිබේ. ඔවුන් අවධාරණය කළ පරිදි, ‘අල්ලස‘ යන පොදු යෙදුම තුළ නොව ප්‍රකාශිතවම ‘ලිංගික අල්ලස‘ මේ වන විට ලංකාවේ නීතියෙන් අපරාධ වරදක් වන අතර, ලිංගික අල්ලස් ගැනීම මෙන්ම දීම ද වරදකි යන යල්පිනූ මතය වෙනුවට ‘ලිංගික අල්ලස් ගැනීම වරදකි‘ යන අදහස මතු වන සේ දැනට මාස කිහිපයකට පෙර ලංකාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බලගන්වනු ලැබීය.

ලංකාවේ ලිංගිකමය හා සමාජභාවී සුළුතරය අතරින් ‘නීත්‍යානුකූල පුද්ගලයන්‘ වශයෙන් අයිතිවාසිකම් සැලකිය යුතු දුරකට හෝ තිබෙන්නේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට පමණි. මෙහිදී ‘සැලකිය යුතු දුරකට‘ යැයි අප පවසන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නීතිමය ලේඛන පැවතියත් නීතිය ක්‍රියාත්මක කිරීමේ  දැඩි අඩුපාඩු තවමත් පවතින හෙයිනි. මෙම ලිපියේ මුල් භාගයේ විස්තර කළ ඔවුන්ගේ සත්‍ය ජීවන අත්දැකීම් එයට සාක්ෂි දරයි.

එනිසාම,  LGBT+ ප්‍රජාව තුළ සිටින සෙසු කාණ්ඩවලට එනම්, සමරිසි, ද්වීරිසි යනාදී තැනැත්තන් හට අලුත් ලිංගික අල්ලස් නීතියෙන් පවා පිහිට පැතිය හැකිද යන්න විශාල ගැටළුවකි. ජනගහනයෙන් 90% ක් පමණ නියෝජනය කරන විෂමරිසි බහුතරය පවා ලිංගික අල්ලස් පිළිබඳ නීතියේ පිහිට ඉතා ඉඳහිට පතන තත්වයක් තුළ සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී සුළුතරය මෙම අපරාධ වරද සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතීමට යොමු නොවීම හෝ ඉතා කලාතුරකින් පමණක් යොමු වීම වටහා ගත හැකි ය.

මෙතෙක් කල් ද ලංකාවේ ලිංගික අල්ලස ද ඇතුළත් ව අල්ලස සම්බන්ධයෙන් සාධනීය ලෙස ක්‍රියාත්මක වූයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවයි. බොහෝ අය දන්නා පරිදි ‘අල්ලස් කොමිසම‘ යි. ඉහත කී නීති සංශෝධනයට පෙර අල්ලස් කොමිසමට පවා බලය තිබුණේ රාජ්‍ය අංශය විසින් එනම් රජයේ නිලධාරීන් විසින් සිදුකරන අල්ලස්/ ලිංගික අල්ලස් ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. නමුත් නව නීති සංශෝධනයත් සමග ඔවුන්ගේ එම බලතල පුද්ගලික තැනැත්තන් අතර හටගන්නා ලිංගික අල්ලස් විමර්ශනයට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති බලතල දක්වා ම දීර්ඝ වී තිබීම සාධනීය කරුණකි. 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පළමු පුද්ගලික අංශ සේවකයා පෙබරවාරි මුල සතියේදී කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. එය නව නීතිය යටතේ විභාග වන පළමු ලිංගික අල්ලස් නඩුවයි. තවද නව නීතියේ ඇති සුවිශේෂී වර්ධනයක් වන්නේ, ලිංගික අල්ලස් සිදුවීම්වල මූලික බලතල පොලිසියෙන් අල්ලස් කොමිසම වෙත විස්ථාපනය කර, අල්ලස් කොමිසම විසින් විමර්ශන හා තොරතුරු රැස්කිරීම පිණිස පොලිසියේ සහාය පැතීමයි. ඒ අනුව, ලිංගික අල්ලස් සම්බන්ධයෙන් නව නීතිය යටතේ මූලික විමර්ශන පොලිසියේ විෂය පථයෙන් ඉවත් කර ලඝු කර ඇති බවක් ද පෙනේ. දැන්, ලිංගික අල්ලස් සම්බන්ධයෙන් මූලික පැමිණිල්ල යොමු කළ යුතු වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙතට ය. එහිදී ද  LGBT+ ප්‍රජාවට යුක්තිය ඉටු වීමට නම් එහි කාර්ය මණ්ඩලය රටේ දූෂණ විරෝධී නීතිය පිළිබඳ දැනුවත්ව සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන් අනිවාර්යයෙන්ම LGBT+ ප්‍රජාව සම්බන්ධයෙන් මනා සංවේදීකරණයකට ලක් විය යුතු ය.

ලිංගික අල්ලස් පිළිබඳ සිද්ධියක් වාර්ථා කිරීමට, 1954 දුරකථන අංකය හෝ   ciaboc_gen@ciaboc.gov.lk විද්‍යුත් තැපෑල හරහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) අමතන්න

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments