asd
Sunday, September 8, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsජනපතිගේ සංචාරයෙන් අඹේවෙල කිරි ගොවිපළේ කිරි නිෂ්පාදනයට දිරියක් ..

ජනපතිගේ සංචාරයෙන් අඹේවෙල කිරි ගොවිපළේ කිරි නිෂ්පාදනයට දිරියක් ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අඹේවෙල කිරි ගොවිපළෙහි සංචාරයක නිරත විය. අඹේවෙල කිරි ගොවිපළ යනු මෙරට කිරි කර්මාන්තය සම්බන්ධයෙන් දොරින් දොර කියැවෙන නාමයක් මෙන්ම කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් නවීන තාක්ෂණය ඔස්සේ විශාල දායකත්වයක් ලබාදෙන ගොවිපළක්ද වේ. මීට පෙර 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීද ජනාධිපතිතුමන් අඹේවෙල කිරි ගොවිපළෙහි සංචාරයක නිරත වූ අතර, එම අවස්ථාවේදී එතුමන් විසින් ගොවිපළෙහි සිදුකළ යුතු වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් බලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදි.

ගොවිපළ වෙත පැමිණි ජනාධිපතිතුමන් එහි කළමනාකාරීත්ව කමිටුව සහ කාර්ය මණ්ඩලය විසින් සාදරෙයන් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් ගොවිපළෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී එතුමන් ගොවිපළෙහි ප්‍රගතිය මෙන්ම ගොවිපළ මගින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වයද නිරීක්ෂණය කළේ ය. ඉන් අනතුරුව එතුමන් විසින් ගොවිපළේ කාර්ය මණ්ඩලය මෙන්ම දේශීය හා විදේශීය සංචාරකයන් සමඟ අදහස් හුවමාරු කරගන්නා ලදි.

මෙහිදී අඹේවෙල කිරි ගොවිපොළෙහි කළමනාකරණ කමිටුව, එම ගොවිපළ මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය විස්තර කළේ ය. මෙම ගොවිපළ 1943 වර්ෂයේදී ආරම්භ වූ අතර, 2001 වර්ෂයේදී එය පෞද්ගලීකරණය කරන ලදි. මේ වනවිට අඹේවෙල කිරි ගොවිපළ විශාල වශයෙන් නවීකරණය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේද කිරි නිෂ්පාදනය සඳහා උසස් තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් එය මනා ආදර්ශයක් ලෙස සැලකේ. එමෙන්ම ගොවිපළ වැඩිදියුණු කිරීමේ උත්සාහය ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් මහඟු දායකත්වය වෙනුවෙන් කළමනාකරණ කමිටුව ජනාධිපතිතුමන් වෙත මෙහිදී සිය ස්තූතිය පළකළේ ය.

2022 වසරේදී ජනාධිපතුමන් ගොවිපළ නැරඹීමට පැමිණෙන විට එහි දෛනික කිරි නිෂ්පාදන ලීටර් 40,0000 ක් පමණ විය. පසුකාලීනව ජනාධිපතිතුමන්ගේ  මගපෙන්වීම යටතේ සිදුකරන ලද වැඩිදියුණු කිරීම් හේතුවෙන්, මෙම වසර අවසානය වනවිට එය 30% කින්, එනම් ලීටර් 52,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම ක්‍රමානුකූල වැඩිදියුණු කිරීම් ඔස්සේ ගොවිපළේ වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 20 දක්වා ඉහළ දැමීමට කළමනාකාරීත්වය බලාපොරොත්තු වෙයි. ඉහළ කිරි අස්වැන්නක් ලබාදෙන එළදෙනුන් වර්ග ලබාගැනීම සහ පශු සම්පත් කළමනාකරණ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීම තුළින් මෙම ඉලක්කය ළඟා කරගත හැකි වනු ඇතැයි කළමනාකාරීත්වය විශ්වාස කරයි.

“අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අපගේ ගොවිපළට පැමිණීම අපට මහත් ගෞරවයක්. එතුමන්ගේ යෝජනා අපගේ සංවර්ධන වැඩසටහන්වලට නව අගයක් එක්කළා. අඹේවෙල කිරි ගොවිපළ අත්කරගෙන ඇති මේ ප්‍රගතිය, කිරි නිෂ්පාදනයේ නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය උදෙසා අප දක්වන කැපවීමට මනා සාක්ෂියක්.  මේ ගොවිපොළේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණයන් භාවිතයට ගැනීමට සහ ක්‍රියාවලි යාන්ත්‍රිකකරණය කිරීමට අප විශාල ආයෝජනයන් සිදුකළා. අතිගරු ජනාධිපතිතුමන්ගේ අඛණ්ඩ සහයෝගය සමගින්, අපගේ නිෂ්පාදන ඉලක්ක ළඟා කරගනිමින්, ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයට වඩාත් ඉහළ දායකත්වයක් දැක්වීමට අපට හැකියාව ලැබේවි කියා අප විශ්වාස කරනවා.” අඹේවෙල කිරි ගොවිපොළේ කළමනාකාරීත්වය පැවසී ය.

තම සංචාරය අතරතුර ජනාධිපතිතුමන් විසින් ලබාදෙන ලද උපදෙස්වලට අනුව, තාක්ෂණය සහ පහසුකම් වැඩිදියුණු කිරීම ඔස්සේ තම කිරි නිෂ්පාදනය තවදුරටත් වැඩිකරගත හැකි ආකාරය සම්බන්ධයෙන් අඹේවෙල කිරි ගොවිපළ මේ වනවිට අවධානය යොමුකර තිබේ. මෙමගින් ගොවිපොළේ නිෂ්පාදන ධාරිතාව වැඩි කර, රටේ කිරි කර්මාන්තයට වඩාත් ඉහළ දායකත්වයක් ලබාදීමට හැකි වනු ඇත. එමෙන්ම මෙරට විශ්ව විද්‍යාලවල සිසුන්ට කිරි කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමටද අඹේවෙල කිරි ගොවිපළ මේ වනවිට කටයුතු යොදා තිබේ.

අඹේවෙල කිරි ගොවිපළ වෙත පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාවද ඉහළ යමින් පවතින අතර, ඒ නිසාම එහි පහසුකම් වැඩිදියුණු කිරීමට කළමනාකාරීත්වය පියවර ගනිමින් සිටියි. මෙම වසරේ එක්තරා විශේෂ දිනයක ගොවිපළ වෙත සංචාරකයන් 9,000 ක් පමණ පැමිණි අතර, මෙය ගොවිපොළේ ජනප්‍රියත්වයට මනා සාක්ෂියකි. ගොවිපොළේ කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යමින් රටේ ආර්ථිකයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදීම සඳහා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙතින් ලැබෙන සහය සහ ක්‍රමෝපායික මගපෙන්වීම වෙනුවෙන් අඹේවෙල කිරි ගොවිපොළේ කළමනාකාරීත්වය සිය කෘතඥතාව පළකර සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments