asd
Wednesday, October 16, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsවැඩි පොලියක් ගන්න ඔබ සල්ලි දැම්මේ මහබැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක නම්...

වැඩි පොලියක් ගන්න ඔබ සල්ලි දැම්මේ මහබැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක නම් දාපු මුදලවත් බේරගන්න බැහැ!

ශ්‍රී ලංකා මූල්‍යකරුවන්ගේ සංගමයේ සභාපති ආනන්ද සෙනෙවිරත්න

බැංකු පොලිය පහත වැටීමත් සමග මහජනතාව බැංකු වෙතින් ඉවත්ව මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමට පෙළඹීම මේ දිනවල දැකගත හැකිය. බැංකුවකට වඩා ඉහල පොලියක් ලැබෙන ආකාරයෙන් ආරක්ෂිතව මුදල් තැන්පත් කිරීම සඳහා ගැලපෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයක් තෝරාගන්නා ආකාරය පිළිබඳ ඔබ දැනුවත් කිරීමෙහිලා ශ්‍රී ලංකා මූල්‍යකරුවන්ගේ සංගමයේ Finance Houses Association of Sri Lanka) සභාපති ආනන්ද සෙනෙවිරත්න මහත්මයා සමග කළ සංවාද සටහන පහත දැක්වේ.

තැන්පතුවට ආරක්ෂාව හා වැඩිපොලියක් ලබාදෙන බැංකු නොවන මූල්‍ය ආයතනයක් තෝරාගන්නේ කොහොමද?

බැංකු කියන්නේ පිළිගත් විශ්වාසවන්ත ආයතන සමූහයක්. බැංකුවල පොළිය මදි වැඩි පොළියක් ගන්නවා කියන එකම අරමුණු කරගෙන පොළිය ගැනම හිතලා වැඩි තන්හාවට මුදල් තැන්පත් කරලා වැඩි පොළිය කෙසේ වෙතත් දාපු මුදලවත් නැති කරගෙන මිනිස්සු අමාරුවෙ වැටුණ උදාහරණ අපේ සමාජයේ  ඕනෑ තරම් තිබෙනවා. නමුත් තමන් මුදල් තැන්පත් කරන්න හදන තැන ගැන හරි විදිහට හොයල බලලා නිසි ඇගයීමක් කරලා ආයෝජනය කරනවා නම් අවදානමක් නැතුව වැඩි පොලියකුත් අරගෙන යොදවපු මුදලත් ආරක්ෂා කරගන්න පුළුවන් විදිහෙ ක‍්‍රම තියෙනවා. යම් මුදලක් බැංකු නොවන මූල්‍ය සමාගමක තැන්පත් කරනවා නම් ඉස්සෙල්ලාම අවධානය යොමුකරන්න  ඕනෑ ඒ මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතද නැද්ද කියන දේ ගැන. ලංකාවේ මහ බැංකුව අනුමත මූල්‍ය සමාගම් 32 ක් තියෙනවා, මම නියෝජනය කරන්නෙ ඒ මූල්‍ය සමාගම් සමූහයයි. ඔබේ මුදල් ආරක්ෂිතව තැන්පත් කරලා බැංකුවකට වඩා ටිකක් හරි වැඩියෙන් සාධාරණ පොළියක් බලාපොරොත්තු වෙනවා නම් මහ බැංකුව අනුමත මූල්‍ය සමාගමක්ම තෝරාගත යුතුයි. මහ බැංකුව යම් මූල්‍ය සමාගමක් අනුමත කරනවා නම් ඒ සමාගමට සහතිකයක් නිකුත් කරනවා. ඒ සහතිකය ආයතනයේ සියළුම ශාඛාවල ගනුදෙනුකරුවන්ට පැහැදිළිව පෙනෙන ආකාරයෙන් ප‍්‍රදර්ශනය කළ යුතුයි. ඔබ තෝරාගන්නා මූල්‍ය සමාගම මහ බැංකුවේ අනුමතද නැද්ද ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ක‍්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඒ ආයතනය ඇතුලට ගිහින් මහ බැංකුවේ ලාංචනය සඳහන් සහතිකය බිත්තියෙ ගහල තියෙනවද බලන එක. තවත් විදිහක් තමයි ඒ ආයතනයේ වෙබ් අඩවියට හෝ මහ බැංකුවේ වෙබ් අඩවියට ගිහින් මහ බැංකුවේ අනුමැතිය ගැන විස්තර තිබෙනවාද බලන එක. මහ බැංකුවේ අනුමැතිය ලැබූ මූල්‍ය සමාගමක් නම් ඒ බව සමාගමේ සියළු ලියකියවිලි තුළ, ආයතනික දැන්වීම් තුළත් ඇතුලත් වෙනවා.

මූල්‍ය සමාගම් තමන්ගේ මූල්‍ය ශක්තිය ප‍්‍රවර්ධනය කරන්න රේටින් සම්බන්ධයෙන් විවිධ දැන්වීම් පළ කරනව අපි දැකල තියෙනවා. මූල්‍ය සමාගමක රේටින් අගයෙන් අදහස් වෙන්නේ මොකක්ද?

රේටින්ග්ස් (ratings)  නැත්නම් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් කියලා කියන්නේ බැංකු හා මූල්‍ය සමාගම් වල ණය ගෙවීමේ හැකියාව ගැන තක්සේරුවක් ඉදිරිපත් කරන ආයතනවලට. මූල්‍ය සමාගම් බැංකුවලින් ණය ලබාගන්නකොටයි ණයකර නිකුතුවකදියි ආයතනය කොතරම් ශක්තිමත් ද යන්න ණය ශ්‍රේණිගත කිරීමේ අගයෙන් පෙන්නුම් කරනවා. කෙනෙකුගේ ණය ගෙවීමේ හැකියාව තීරණය වෙන්නේ කලින් සිදු කරපු මූල්‍ය ගනුදෙනුවල ස්වභාවය අනුවයි. උදාහරණයක් විදිහට රුපියල් 1000 ආදායමක් තියෙන කෙනෙක් රුපියල් 1000ට වඩා වියදම් කරනවා නම් එයාට ණය ගන්න වෙනවා තමන්ගේ අනෙක් වියදම් පියවා ගන්න. ඒ වගේ කෙනෙක්ට ණය ගෙවා ගන්නත් බැරි වෙලා ආයෙ ආයෙත් ණය ගන්න වෙන්නත් පුළුවන්. ඉතිං ඔය වගේ කෙනෙක්ගේ ණය ගෙවීමේ හැකියාව සතුටුදායක නෑ කියලා කියන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ණයක් දෙන්න කලින් කෙනෙක් දෙපාරක්වත් හිතනවා. අන්න ඒ වගේ බැංකු හෝ මූල්‍ය සමාගමක ණය ගෙවීමේ හැකියාව මනින්න තක්සේරු කරන්න තමයි මේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තියෙන්නේ. උදාහරණයක් විදිහට ෆිච් රේටින්, ලංකා රේටින් වගේ ආයතන දක්වන්න පුළුවන්. ණය ශ්‍රේණිගත කිරීමේ අගය ඉහල අගයක් ගන්නවා නම් ඒකෙනුත් ඒ මූල්‍ය සමාගමේ මූල්‍යමය ස්ථාවරත්වය හා විශ්වාසනීයබව ගැන යම් අදහසක් ගන්න පුළුවන්. මහබැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් නම් අනිවාර්යයෙන්ම මේ ණය ශ්‍රේණිගත කිරීමේ අගයක් ඒ ආයතනවලට හිමිවෙලා තියෙනවා. ඒකෙනුත් ඔබ තෝරාගන්නා මූල්‍ය සමාගම මහ බැංකුවේ අනුමත ආයතනයක්ද කියන එක සොයාගන්න පුළුවන්.

ණය ශ්‍රේණිගත කිරීම් කීපයක් අපි දකිනවා මූල්‍ය සමාගම් අතර. මොනවද ඒ ණය ශ්‍රේණිගත කිරීමේ වර්ග ඒ ණය ශ්‍රේණිගත කිරීම් අනුව ඒ සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය මොනවගේද කියල හොයාගන්නේ කොහොමද?

මූල්‍ය සමාගම කොතරම් කාර්යක්ෂම හා සඵලදායී විදිහට වත්කම් කළමනාකරණය කරගෙන සමාගමේ කොටස්කරුවන්වත් ආරක්ෂාකරගෙන සාධාරණ විදිහට ලාභ ලබනවාද කියන එකත් සමාගම් සාමාජීය වටිනාකම් ආරක්ෂා කරමින් සදාචාරාත්මකව, තිරසර ප‍්‍රතිපත්තියකින් කටයුතු කරනවාද යන්නත් ණය ශ්‍රේණිගත කිරීම් අගයක් ලබාදෙනකොට සලකා බැලෙනවා. AAA සිට D දක්වා ණය ශ්‍රේණිගත කිරීම් අගය තියෙනවා. A+, A-, B+, BBB+, BBB- යනාදී ආකාරයෙන් ණය ශ්‍රේණිගත කිරීම් අගයක් ලැබිලා තියෙනවා මූල්‍ය සමාගම්වල ක‍්‍රියාකාරීත්වය අනුව, හැමතිස්සෙම ඉහළ ඉංග‍්‍රීසි අකුරුවලින් කියවෙන ණය ශ්‍රේණිගත කිරීම් අගයක් හිමිවෙන්නේ ඒ ඒ සමාගමේ ගුණාත්මකබව අනුවයි. ණය ශ්‍රේණිගත කිරීම් අගය D නම් ඒක ඔබේ මුදල් නොදැමිය යුතු ආයතනයක්. AAA කියලා කියන්නේ ඒ මූල්‍ය සමාගම කොතරම් කාර්යක්ෂම හා සඵලදායී විදිහට වත්කම් කළමනාකරණය කරගෙන සමාගමේ කොටස්කරුවන්වත් ආරක්ෂාකරගෙන සාධාරණ විදිහට ලාභ ලබනවාද කියන එකට ලැබෙන ඉහලම ශ්‍රේණිගත කිරීම.

ඇතැමුන් කියනවා යම් තැන්පතුවකදී මූල්‍ය සමාගමක් ප‍්‍රසිද්ධ කළ පොලී අනුපාතිකයක් වුවත් සාකච්ඡුා මාර්ගයෙන් වැඩි කරගන්න පුළුවන් කියලා. එහෙම කළ හැකිද? මූල්‍ය සමාගමක පොලී අනුපාතිකය සකස්වන්නේ කොහොමද?

කිසිම මූල්‍ය ආයතනයක් තැන්පතුවක් වෙනුවෙන් තමන්ට දිය හැකි උපරිම පොලී අනුපාතිකය ප‍්‍රසිද්ධ කරන්නෙ නැහැ, තමන් ලබාදෙන තැන්පතු පොළිය සහ තමන් ලබාදෙන ණය පොළී සම්බන්ධයෙන් සමතුලිතතාවයක් පවත්වාගැනීමට අවශ්‍ය නිසා සාධාරණ පොලී අගයක් තමයි ප‍්‍රසිද්ධ කරන්නේ. ගනුදෙනුකරුවාගේ ස්වභාවය හා එම තැන්පතු ස්වභාවය අනුව යම් ආයතනික ඇගයීම් ක‍්‍රියාවලියකින් පසුව පොලී අනුපාතිකය වැඩිකරන්න පුළුවන් මූල්‍ය සමාගමකට, හැබැයි මහබැංකුව පනවා තිබෙන සීමාව නොඉක්මවා. පසුගිය සති 4 භාණ්ඩාගාරික බිල්පත් වටිනාකම් අනුව සකස් කරගන්නා සාමාන්‍ය අනුපාතයක් අනුවයි මහබැංකුව පනවන ඒ සීමාව තීරණය වෙන්නේ. ඒ සීමාව ඉක්මවා මහබැංකුවේ බලපත‍්‍ර ලාභී මුල්‍ය සමාගමකට වැඩ කරන්න බැහැ. මූල්‍ය සමාගමක් ලබාදෙන ඉහලම පොලී අනුපාතිකය වුණත් කිසිම වෙලාවක මහබැංකුවෙ ඒ සීමාව ඉක්මවන්නේ නැහැ.

මූල්‍ය ආයතන ලබාදෙන පොලී අනුපාතිකයන්ට වඩා වැඩි පොලියක් ලබාදෙන ආයතන වෙළෙඳපොලේ තිබෙනවා නේද? කොහොමද ඒ අය එහෙම කරන්නෙ?

මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගමක් සෑමවිටම මහ බැංකුව ලබාදෙන ඉහළම පොලී අනුපාතිකයට යටත්ව තමයි තීන්දු තීරණ ගන්නේ. මූල්‍ය සමාගමක් වෙනුවෙන් නිර්මාණය කරන අත්පත‍්‍රිකා, ජනමාධ්‍ය දැන්වීම් යනාදී සියළු ප‍්‍රචාරයන් සිදුවන්නේ මහ බැංකුවේ නියාමනයකට යටත්ව. ඒ නිසා බිස්නස් වැඩිකරගන්න කියලා අපිට හිතෙන හිතෙන පොලී අනුපාතික ප‍්‍රසිද්ධ කරන්න බැහැ මූල්‍ය සමාගමකට. හැබැයි තැන්පතු එකතු කිරීමට මහබැංකුවේ නීත්‍යානුකූල අවසරයක් නැති වුණත් ව්‍යාපාර ලියාපදිංචියට මුවාවෙලා පවත්වාගෙන යන යම් යම් ආයතන ඔබ කියන ආකාරයෙන් ඉහළ පොලී අනුපාතික ප‍්‍රසිද්ධ කරලා උපක‍්‍රමශීලීව වක‍්‍රාකාරයෙන් මහජනතාවගේ තැන්පතු ලබාගැනීම සිදුකරනවා. ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමය විදිහට අපි එයට විරෝධතාවය ප‍්‍රකාශ කළාට ඒ ගැන ශක්තිමත් නීතියක් සකස්වෙලා නැති නිසා ඒවා වළක්වන්න අපහසුයි. ඒ නිසයි අපි තැන්පතුකරුවන්ට කියන්නේ තැන්පතුවක් දාන්න කලින් පොලිය ගැන විතරක් බලන්න එපා ආයතනය මහබැංකුවේ අනුමැතිය ලැබූ නීත්‍යානුකූල මූල්‍ය සමාගමක් ද කියලා බලන්න කියලා. මහබැංකුවේ බලපත‍්‍රලාභී නීත්‍යානුකූල මූල්‍ය සමාගමක් මහබැංකුවේ නීතිරීති රෙගුලාසි අනුව ව්‍යාපාර කටයුතු කරන නිසා තැන්පතුකරුවන්ට වගකීමෙන් බැඳී ඉන්නවා. කිසිම වගකීමක් නැති නීත්‍යානුකූල මූල්‍ය සමාගමක් නොවන ආයතනවල වගකීම් විරහිත ක‍්‍රියාකාරීත්වය නිසා මුදල් දැමූ තැන්පතුකරුවන්ගේ තැන්පතුව වත් බේරගන්න බැරිව අසරණ වූ අවස්ථා ගැන උදාහරණ  ඕනෑ තරම් අපේ සමාජයේ තියෙනවා.

වාර්ෂික පොලිය, සඵල පොලිය වගේ විවිධ පොලී වර්ග ගැන කියවෙනවා. ඒ පොලී වර්ග ගැන යම් පැහැදිළි කිරීමක් කරන්න.

හැමතිස්සෙම පොලිය ගණනය වෙන්නේ අවුරුද්දකටයි වාර්ෂික පොලී අනුපාතිකය කියන්නේ අවුරුද්දකට ගණනය වෙන පොලී අනුපාතිකයට. කෙටිකාලීන ස්ථාවර තැන්පතුව කල් පිරුණත් ඒ මුදලයි පොලියයි අරගන්නෙ නැතුව වසරක් දක්වා නැවත තැන්පත් කිරීමෙන් ඒ පොලියට හැදෙන පොලියයි, තැන්පතු මුදලට නැවත හැදෙන පොලියයි එකතුවෙලා තමයි සඵල පොලී අනුපාතිකය හැදෙන්නෙ. වාර්ෂික සඵල පොලී අනුපාතිකය සාමාන්‍යයෙන් මහජනතාව දන්නෙ පොලියට පොලියක් එකතුවෙන වැල් පොලිය විදිහට යි. අවුරුද්දකට අඩු කාලයකට ස්ථිර තැන්පතුවක් දානව නම් වාර්ෂික පොලී අනුපාතිකයට වඩා සඵල පොලී අනුපාතිකය වැඩි අගයක් ගන්නවා. අවුරුද්දක ස්ථිර තැන්පතුවකට ලැබෙන වාර්ෂික පොලී අනුපාතයයි සඵල පොලී අනුපාතිකයයි සමාන වෙනවා. අවුරුද්දකට වැඩි කාලයක් පවතින ස්ථාවර තැන්පතුවකදි වාර්ෂික පොලී අනුපාතිකයට වඩා සඵල පොලී අනුපාතිකය අඩුවෙනවා. පොලී අනුපාතික ගැන මා කියූ විස්තර තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් ඔබ තෝරාගන්නා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගමට ගිහින්. ඒ කාර්ය මණ්ඩලයට ඔබේ තැන්පතු අවශ්‍යතාව ගැන කියලා පොලී අනුපාතික ගැන අහන්න, ඒ අය ඔබට ඉතා සරලව උදාහරණ ඇසුරෙන් පොලී අනුපාතික ගැන පැහැදිලි කරලා දෙනවා.

මූල්‍ය සමාගමක් තමන්ගෙ ගනුදෙනුවට අදාල තොරතුරුවල රහස්‍යභාවය රකිනවාද? ඇතැම් වෙලාවල්වලදී ගනුදෙනුකරුවෙක් යම් ආයතනයක මුදල් තැන්පතුවක් සිදුකළාට පස්සේ වෙනත් මූල්‍ය ආයතනවලින් ලියුම් එවනවා වැඩි පොලියක් දෙන්නම් කියලා. එතකොට එක මූල්‍ය ආයතනයක තොරතුරු තවත් මූල්‍ය ආයතනයකට ලබාදෙනවද?

මහබැංකුවේ බලපත‍්‍රධාරී මූල්‍ය සමාගම් හැමතිස්සෙම ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය රකිනවා, තවත් ආයතනයකට තොරතුරු ලබාදෙනවා තියා ඒ සමාගම ඇතුලෙ වෙනත් දෙපාර්තමේන්තුවකට වත් ඒ තොරතුරු ලබාදෙන්නෙ නෑ. ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය රකින්න මූල්‍ය සමාගම් නීතියෙන් බැඳී ඉන්නවා. ඔබ කියන ආකාරයේ දේ සිදුවනවා නම් සිදුවන්නේ ගනුදෙනුකරුවන්ගේ නොසැලකිල්ලෙන් හෝ නොදැනුවත්කමෙන්. යම් ගනුදෙනුකරුවෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව තමාගෙ වත්කම්, ගනුදෙනු ගැන කුමන හෝ ආකාරයකට තුන්වන පාර්ශ්වයකට හෙළිකලොත් මිසක් මූල්‍ය ආයතනයක් කිසිසේත්ම ගනුදෙනු තොරතුරු පිටට ලබාදෙන්නෙ නැහැ. ගනුදෙනුව ගැන සුළු හෝ තොරතුරක් තුන්වැනි පාර්ශ්වයක් දැනගත්තොත් ඒ තොරතුර මත ඔබ කිව්වා වාගේ දෙයක් වෙන්න පුළුවන්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments