asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsවෙළඳපොළ අභියෝග මධ්‍යයේ වුවද SLT-MOBITEL 2024 පළමු අර්ධය තුළ සාමාන්‍ය...

වෙළඳපොළ අභියෝග මධ්‍යයේ වුවද SLT-MOBITEL 2024 පළමු අර්ධය තුළ සාමාන්‍ය ආදායම් වර්ධනයක් වාර්තා කරයි..

SLT-MOBITEL 2024 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ සිය ආදායමේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී ඇත. එමෙන්ම පිරිවැය කළමනාකරණ වැඩසටහන් ඔස්සේ සිය පිරිවැය සීමා කරගැනීමටද සමාගමට හැකි වී තිබේ.

මෙම වර්ධනය, අභියෝගකාරී වෙළඳපොළ තත්වයන් පැවති අවස්ථාවක පවා හොඳින් එම අභියෝගවලට මුහුණ දීමට සහ අවශ්‍ය පරිදි අනුගත වීමට SLT-MOBITEL  සමත් වී ඇති බවට සාක්ෂි දරයි. ආදායමේ වර්ධනය සහ පිරිවැය කළමනාකරණ වැඩසටහන් සාර්ථක වීම හේතුවෙන් සමාගමේ අංශ රැසක යහපත් ප්‍රවණතා දැකගැනීමට හැකි වී තිබේ.

2024 මුල් මාස 6 තුළ සමූහයේ ආදායම රු. බිලියන 53.5 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 1.6% ක වර්ධනයකි. සමූහයේ දළ ලාභය 4.0% කින් වර්ධනය වී රු. බිලියන 20.9 ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ 38.1% ක් වූ දළ ලාභාන්තිකය මෙම කාලසීමාව තුළදී 39.0% දක්වා ඉහළ ගොස් තිබේ.

පාරිභෝගිකයන් ඉවත් වීම සහ නව සම්බන්ධතා සඳහා ඉල්ලුම අඩු වීම වැනි වෙළඳපොළ අභියෝග හමුවේ පවා මෙම සාමාන්‍ය වර්ධනය වාර්තා කරගැනීමට හැකි වී ඇත.

මෙම මාස 6 ක කාලසීමාව තුළ සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 17.1% කින් වර්ධනය වී රු. බිලියන 18.0 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙහෙයුම් ලාභය 54.5% කින් වර්ධනය වී රු. බිලියන 3.6 ක් ලෙස වාර්තා වී තිබේ. මෙහෙයුම් ඉපැයුම් ලාභාන්තිකය 29.2% සිට 33.6% දක්වා වර්ධනය වී ඇති අතර, එය සේවා ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගන්නා අතරම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සමූහයට හැකි වී ඇති බවට මනා සාක්ෂියකි.

ප්‍රධාන වශයෙන් පොළී අනුපාත පහළ යාම නිසා සමූහයේ පොළී වියදම් 19.5% කින් පහළ යාම හේතුවෙන් මූල්‍ය වියදම් පහළ ගොස් ඇත. මෙමගින් සමූහයේ ලාභය වර්ධනය වී ඇති අතර, 2023 ප්‍රථම අර්ධයේ වාර්තා වූ රු. මිලියන 1159 ක අලාභයට සාපේක්ෂව මෙම කාලසීමාවේදී ශුද්ධ අලාභය රු. මිලියන 323 කට සීමා වී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ආදායම 2024 ප්‍රථම අර්ධයේදී 0.9% කින් වර්ධනය වී රු. බිලියන 35.0 ක් ලෙස වාර්තා වී තිබේ. සමාගමේ මෙහෙයුම් ලාභයද 2.9% ක වර්ධනයක් පෙන්නුම්කර ඇත. වාර්ෂික නඩත්තු වියදම්, කුලී පදනම මත ලබාගැනීමේ වියදම් සහ අලුත්වැඩියා හා නඩත්තු වියදම් ආදිය අවම කරගැනීමේ ක්‍රමෝපායික උත්සාහ නිසා මෙහෙයුම් වියදම් අඩු වී ඇති අතර, එමගින් සමස්ත ලාභදායීත්වය ඉහළ ගොස් තිබේ. පොළී අනුපාත පහළ යාම නිසා සමාගමේ මූල්‍ය වියදම් 27.2% කින් පහළ ගොස් ඇත. මේ නිසා, 2023 ප්‍රථම අර්ධය තුළ වාර්තා කළ රු. මිලියන 401 ක අලාභයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී රු. මිලියන 272 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගමට හැකියාව ලැබිණි.

ක්‍රමෝපායික වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින් අනාගත වර්ධනය සහ තිරසරත්වය ළඟා කරගැනීම සමාගමේ ඉලක්කය වී තිබේ. මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පිරිවැය කළමනාකරණය සඳහා දැනට ක්‍රියාත්මකකර ඇති වැඩසටහන් ඔස්සේ ඉදිරියේදී වෙළඳපොළේ සිදුවන වෙනස්කම්වලට මැනවින් අනුගත වෙමින්, තම පාර්ශ්වකරුවන්ට දීර්ඝකාලීන වටිනාකම් තිළිණ කිරීමේ හැකියාව SLT-MOBITEL සතු ය.

එකතු කළ අගය මත බද්ද 3% කින් වර්ධනය වුවද 2023 වසරේ පළමු අර්ධයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළ 3.6% ක ආදායම් වර්ධනයක් වාර්තා කරගැනීමට මොබිටෙල් සමාගම සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් තිබීම සහ සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා දරන ලද ප්‍රයත්න සාර්ථක වීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ආදායම ස්ථාවර ලෙස වර්ධනය වීම සහ පිරිවැය අවම වීම හේතුවෙන් ලාභදායීත්වය සැලකිය යුතු මට්ටමක වර්ධනයක් පෙන්නුම්කර ඇති අතර, 2024 ප්‍රථම අර්ධයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය 26% කින් වර්ධනය වී ඇත.

සමස්තයක් ලෙස ගත්විට මොබිටෙල් සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ලාභදායීත්වය සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම්කර තිබේ. 2023 වසරේ ප්‍රථම අර්ධයේ වාර්තා වූ රු. මිලියන 895 ක අලාභයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළ සමාගම රු. මිලියන 182 ක මෙහෙයුම් ලාභයක් වාර්තාකරගෙන ඇත. සමාගමේ ශුද්ධ අලාභය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 28.9% කින් පහළ ගොස් තිබේ. ජාල යටිතල පහසුකම් සඳහා මේ වනවිට සිදුකෙරෙමින් පවතින ආයෝජනයට අමතරව සමාගම දෙවැනි කාර්තුවේදී 2’3GHz band හි  25MHz සහ 850MHz band හි 5MHz පරාස අලුතින් මිලදී ගත් අතර, මෙමගින් ජාලයේ ධාරිතාව සහ ආවරණ පරාසය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමට හැකි වනු ඇත.

ඉදිරියටත් අඛණ්ඩව සිය ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය ක්‍රියාවට නංවමින්, ජාල යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් සහ ඩිජිටල් සේවා එකතුව පුළුල් කරමින්, සියලුම කාණ්ඩවල පාරිභෝගිකයන්ට වඩාත් හොඳ අත්දැකීමක් තිළිණ කිරීම  SLT-MOBITEL  හි අරමුණ වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments