asd
Friday, September 20, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsඩිමෙන්ශියාව වැළැක්වීම සඳහා මතක පාගමනට සහ ධාවන තරගයට එක්වන්න. ..

ඩිමෙන්ශියාව වැළැක්වීම සඳහා මතක පාගමනට සහ ධාවන තරගයට එක්වන්න. ..

ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ලෝක ඇල්සයිමර් දිනය නිමිති කර ගනිමින්, ජාත්‍යන්තර ඇල්සයිමර් සංවිධානයේ (Alzheimer’s Disease International – ADI) සාමාජිකයකු වන ලංකා ඇල්සයිමර් පදනම (Lanka Alzheimer’s Foundation – LAF) විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම සඳහා වැඩසටහන් ගණනාවක්ම සංවිධානය කර ඇත.

මතක ශක්තිය නැතිවීම සහ අවබෝධය මත කරනු ලබන ක්‍රියාකාරකම් (සංජානනීය) හීනවී යාම ආදී විශේෂිත ඩිමෙන්ශියා රෝගයක් වන ඇල්සයිමර් රෝගය පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මාසයක් පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවේ ආරම්භක අවස්ථාව සැප්තැම්බර් මස 01 වැනිදා නෙළුම් කුළුණ රක්ත වර්ණයෙන් එළිදැක්වීමෙන් සනිටුහන් වේ.

ඩිමෙන්ශියාව පමා කිරීම හෝ වැළැක්වීම සඳහා ඉතාමත් වැදගත් වන කායික හා මානසික ව්‍යායාම ප්‍රවර්ධනය කරමින්, ලංකා ඇල්සයිමර් පදනම ‘මතකය සඳහා ධාවන තරගය’ (Run to Remember) යන තේමාව යටතේ කිලෝමීටර 5 ක ධාවන තරගයක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රය අසලින් සැප්තැම්බර් මස 07 වැනිදා සවස 4.30 ට ආරම්භ කරයි. මීට අමතරව ‘මතක පාගමන 2024’ (Memory Walk 2024) යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන පාගමන සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව. 7.30 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් ආරම්භවේ. ඒ සඳහා වන දිනුම් ඇදීමක් සහිත ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 300 කි.

ලංකා ඇල්සයිමර් පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉතා වටිනා සේවාවන් ස්වේච්ඡා සේවකයන්ගෙන් සහ පරිත්‍යාගශීලී දායකයන්ගේ සහයෝගය ඇතිව බලගැන්වේ. එම සේවාවන් අතරට දැනුවත් කිරීම, අවදානම අඩු කිරීම පිළිබඳව  අධ්‍යාපනය ලබාදීම, මතක ශක්තිය පරීක්ෂා කිරීම සහ තක්සේරු කිරීම, ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම, රැකබලා ගනු ලබන කණ්ඩායම්වලට සහාය වීම, උපස්ථායක සේවාවක් ක්‍රියාත්මක කිරීම, හඳුනාගැනීමේ අත් පළඳනා ලබාදීම සහ උපදේශන සේවා ඇතුළත් වේ. මෙහි අරමුණ වන්නේ ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයන්ගේ ජීවිතයේ ගුණාත්මක බාවය උසස් මට්ටමකින් පවත්වාගෙන යාමත්  සහ රැකබලාගන්නා අය හට සහය වීමයි.

ඇල්සයිමර් මාසය වෙනුවෙන් පවත්වනු ලබන වැඩසටහන් මාලාව සඳහා ප්‍රධාන  අනුග්‍රාහය ADZ Insurance Brokers පුද්ගලික සමාගම, නෙළුම් කුළුණ, විජය පුවත්පත් සමාගම, Hi online, ටාජ් සමුද්‍රා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ඇතුළු අනුග්‍රාහකභවතුන් කිහිප දෙනෙකු සිය නොමසුරු දායකත්වයන් පිරිනමයි.

මෙම වසරේදී ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians Sri Lanka – CCPSL) විසින් මෙම ප්‍රධාන බෝ නොවන රෝගය (NCD) ගැන දැනසිටීමේ වැදගත්කම පිළිබඳව හඳුනා ගනිමින්, එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා ඇල්සයිමර් පදනම සමගින් සම්බන්ධ වී ඇත. බොහෝ විට නොසැලකිලිමත්කම හේතුවෙන් සහ අඩු තක්සේරු මට්ටමකින් හඳුනාගෙන ඇති ඩිමෙන්ශියාව, සියලුම වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන අතර එය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යට ද බරක් වනු ඇත.

ඩිමෙන්ශියාව සහ ඇල්සයිමර් රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දැන් කාලය එලැඹී ඇත. මේ පිළිබඳව දැනුවත්වීම තුළින් ඩිමෙන්ශියාවේ අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගැනීමට, පූර්ව රෝග විනිශ්චය සහතික කිරීමට සහ පශ්චාත් රෝග විනිශ්චය සඳහා අත්‍යවශ්‍ය සහාය ලබා දීමට අප හට සාමූහිකව ක්‍රියා කළ හැකිය. ඇල්සයිමර් රෝගය වයසට යාම හේතුවෙන් ඇතිවන සාමාන්‍ය දෙයක් නොවේ. ඒ සඳහා වර්තමානයේ ප්‍රතිකාර නොමැති වූවද, එහි ඇති අවදානම අඩු කිරීමට සහ එහි වර්ධනය මන්දගාමී කිරීමට ක්‍රියාමාර්ග බොහෝමයක් ඇත. ඩිමෙන්ශියාවෙන් පීඩාවට පත් වූවන් හට අර්ථවත් බලපෑමක් ඇති කරමින්, ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ලංකා ඇල්සයිමර් පදනම සමගින් සම්බන්ධ වන්න.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා https://alzlanka.org හි LAF වෙබ් අඩවිය ඔස්සේ සහ 011-2667080/82 අංකය හරහා ලබා ගත හැකිය.

 

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments