asd
Thursday, September 19, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsශ්‍රී ලාංකීය ජනතාවට පහසුවෙන් ණයක් ලබා ගැනීමට සිය ණය තොරතුරු වාර්තාව (MyReport)...

ශ්‍රී ලාංකීය ජනතාවට පහසුවෙන් ණයක් ලබා ගැනීමට සිය ණය තොරතුරු වාර්තාව (MyReport) අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දෙයි ..

මහජනතාවට ඉක්මනින් හා පහසුවෙන් ස්වකීය ණය තොරතුරු සඳහා ප්‍රවේශ වීමට ඉඩ ප්‍රස්ථා සැලසීම තුළින් ඔවුන්ගේ ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු කරවීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් තම සේවා ඩිජිටල්කරණ  ක්‍රියාවලියේ තවත් නවමු පියවරක් තබමින් ශ්‍රී ලාංකීය ජනතාවට කාර්යාංශයේ සේවා වඩාත් කාර්යක්ෂමව අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම මෙම වසරේ ජනවාරි මස සිට පිරිනමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාවට තම ණය තොරතුරු වාර්තාව (MyReport) අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමටත් ඒ පිළිබඳව දැනුම්වත් වීමේ වැඩපිළිවෙලක් ද දියත් කර ඇත.

ණය දෙන ආයතන හා ණය ගනුදෙනුකරුවන් අතර ණය සඳහා ඇතුල්වීමට ඇති බාධා අවම කරලීම සහ ණය සඳහා වගකීමෙන් බැදි සමාජයක් ගොඩනැංවීම උදෙසා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ණය තොරතුරු කාර්යාංශය මෑතකදී ස්ථාපනය කරන ලද නවීන තාක්ෂණයෙන් අනූන නව ණය තොරතුරු කළමනාකරණ පද්ධතියකින් සමන්විත වේ. මෙම නවීන පද්ධතිය තුළින් කාර්යක්ෂමව බැංකු හා මූල්‍ය ආයතන හා සම්බන්ධ වෙමින් ඔවුන් සතුව පවතින සියලු ණය තොරතුරු එක් රැස්කොට, යාවත්කාලීන කර පවත්වාගෙන යමින් ඉක්මනින් හා පහසුවෙන් නැවත නිකුත් කිරීම මගින් මහජනතාවට ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු කොට ඇත.

ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට සමගාමීව සිදුවන ණය තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලිය තුළ සාම්ප්‍රදායික නොවන ණය තොරතුරු ද කාර්යාංශය වෙත එක්රැස් කිරීම මේ වසර තුලදී අපේක්ෂා කෙරේ. මෙම තොරතුරු රැස් කිරීමේ අභිප්‍රාය වන්නේ සාම්ප්‍රදායික ණය තොරතුරු නොමැතිකමින් ණය සඳහා ප්‍රවේශ වීමට නොහැකි වූ පුද්ගලයින් හට විකල්ප දත්ත ඇතුළත් කිරීම මගින් ණය සඳහා ප්‍රවේශ වීමට අවස්ථාවක් සලසා දීමයි. ණය පදනම මත පරිභෝජනය කරන ලද ජලය, විදුලිය සහ විදුලි සංදේශ වැනි උපයෝගීතා සේවා තොරතුරු මෙන්ම රක්ෂණය පිළිබඳ තොරතුරු ද කාර්යාංශය වෙත රැස්කිරීමෙන් දැනට විධිමත් මූල්‍ය වෙළඳපොලෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගත නොහැකි රටෙහි මුළු ජනගහනයෙන් අඩක් පමණ වන ජනතාවට පහසු හා සහනශීලී කොන්දේසි යටතේ ණය ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙම කාර්යය සඳහා මුලපිරීම මගින් ජනතාවගේ ණය පරිභෝජනය පිළිබඳ හැසිරීම් වැඩිදියුණු කිරීම, ණය සඳහා වගකීමෙන් කටයුතු කිරීම ප්‍රවර්ධනය කිරීම සහ රට තුළ මූල්‍ය විනය ස්ථාපිත කරලීම කාර්යාංශයේ අභිප්‍රාය වේ.

පුළුල් පරාසයක විහිදුණු ණය තොරතුරු එක් රැස් කිරීම මගින් ණය තොරතුරු කාර්යාංශය බලාපොරොත්තු වන්නේ සැමට ණය සඳහා ප්‍රවේශ වීමට සමාන හා සාධාරණ අවස්ථාවන් සලසා දෙමින් විධිමත් මූල්‍ය අංශය වෙත ජනතාව යොමු කරලීමයි. ශ්‍රී ලාංකික පුරවැසියන් හට තම ණය තොරතුරු වාර්තාව හෙවත් ණය ලකුණ අන්තර්ජාලය ඔස්සේ කාර්යාංශ වෙබ් අඩවිය (www.crib.lk) වෙත පිවිස එසැනින් අයදුම් කිරීමේ පහසුකම කාර්යාංශය විසින් දැන් සලසා ඇත.

කාර්යාංශය මගින් නිකුත් කෙරෙන (CRIB Score) හෙවත් ණය ලකුණ අංක තුනකින් සමන්විත වන සංඛ්‍යාත්මක අගයක් වන අතර එය අංක 250 සිට 900 දක්වා වූ පරාසයක විහිදේ. පුද්ගලයෙකුගේ ණය ආපසු ගෙවීම්, අධික ණයගැතිභාවය, දැනට පවතින ණය පහසුකම් පරිභෝජනය කරනු ලබන ආකාරය, එම පහසුකම් පවතින ස්වභාවය, පෞද්ගලික තොරතුරු ආදී තත්ත්වයන් (CRIB Score) ගණනය කිරීමේදී සැලකිල්ලට භාජනය කරනු ලබන අතර පරිගණකගත ඇල්ගොරිදමයක් වෙත ණය තොරතුරු යොමු කිරීමෙන් (CRIB Score) අගය ගණනය කෙරේ. ඉහළ ණය ලකුණක් මගින් අඩු ණය අවදානමක් පෙන්නුම් කෙරේ. ඔබගේ ණය ලකුණ වෙනස් වන සුළු බැවින් විධිමත් ණය කළමනාකරණය හා නිරන්තර විමසිලිමත්භාවය තුළින් ඉහළ ණය ලකුණක් කරා පහසුවෙන් ළඟා විය හැකි වේ.

ණය ගනුදෙනුකරුවන් හට ස්වකීය ණය තොරතුරු හා (CRIB Score) සඳහා අන්තර්ජාලය හරහා එසැණින් ප්‍රවේශය ලබාදීම තුළින් ඔවුන්ට තම ණය ශක්‍යතාවය පිළිබඳව ස්වයං අවබෝධයක් ලබා ගත හැකි වේ. ණය ආපසු ගෙවීම් කටයුතු වලදී යම් අතපසුවීම් සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට ද යාවත්කාලීන ණය තොරතුරු වාර්තාවක් පවත්වාගෙන යාමටද මෙමඟින් අවස්ථාව උදාවේ. එය අලුත් ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමේදී පහසුවක් වන අතර ණය ලබා ගැනීමද කඩිනම් වේ.

තම ණය තොරතුරු වාර්තාව නිරන්තරයෙන් පරිශීලනය කිරීමෙන් පුද්ගලයින්ට හා ව්‍යාපාරවලට ප්‍රශස්ත ණය කළමනාකරණයක් පවත්වාගත හැකි ආකාරය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා ” ණය ශක්‍යතාවය රැකගමු ” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජූනි මස සිට දියත් කෙරිණි. ශ්‍රී ලාංකීය ජනතාවගේ මූල්‍ය විනය වැඩි දියුණු කිරීම තුළින් යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි ණය සඳහා වගකීමෙන් බැඳී සමාජයක් ගොඩනැංවීමට කටයුතු කිරීම කාර්යාංශයේ අභිප්‍රාය වේ.ඉක්මනින් හා පහසුවෙන් ණය ලබාගත හැකි පරිසරයක් නිර්මාණය වීම රටෙහි ආර්ථික සංවර්ධනය සඳහා හේතු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments