Tuesday, November 5, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsDFCC බැංකුව ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ හිදී සම්මාන...

DFCC බැංකුව ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ හිදී සම්මාන දෙකකින් පිදුම් ලබයි ..

DFCC බැංකුව පසුගියදා පැවති දෙවැනි ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ වැඩසටහනේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දියානු වාණිජ මණ්ඩලය මගිනි. ආසියානු කලාපයේ බැංකු සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පවත්වන ලදි. මෙහිදී “Best Performance of Growth” සහ “Best Performance of Profitability” යන කාණ්ඩවල සම්මාන DFCC බැංකුව වෙත හිමි වූ අතර, එය බැංකුවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.

ශක්තිමත් මූල්‍ය ක්‍රමෝපාය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තම හවුල්කරුවන්ට ඉහළම වටිනාකම් තිළිණ කිරීම සඳහා කැපවීම යන සාධක හේතුවෙන් DFCC බැංකුව වෙත මෙම සම්මාන හිමි විය.

බෙහෙවින් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ සැලකිය යුතු වර්ධනයක් සහ ලාභදායීත්වයක් වාර්තා කිරීම යනු සුවිශාල ජයග්‍රහණයකි. ඒ අනුව මෙම සම්මාන, නායකත්ව කණ්ඩායමේ ක්‍රමෝපායික දැක්ම සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඔස්සේ දුෂ්කර වාතාවරණයන් තුළ පවා සාර්ථක ලෙස ඉදිරියට යාමට DFCC බැංකුව සමත් වීම වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමක් ලෙස හැඳින්විය හැකි වේ. සාර්ථකත්වය යනු හුදෙක් සංඛ්‍යාත්මක දත්ත මත පමණක් තීරණය වන දෙයක් නොවන බවත්, අඛණ්ඩව තම ප්‍රතිඥාවන් ඉටුකරමින් ක්ෂේත්‍රය තුළ නව ආදර්ශ සනිටුහන් කිරීමේ හැකියාවද මෙහිදී සැලකිල්ලට ගත යුතු බවත් මෙමගින් මනාව පැහැදිලි වේ.

“මෙම සම්මාන හිමි වීම අපට විශාල ගෞරවයක්. මෙමගින් තිරසාර වර්ධනය සහ ලාභදායීත්වය උදෙසා අප ක්‍රමෝපායික අවධානය යොමුකර තිබෙන ආකාරය නිවැරදි බව සනාථ වනවා. එමෙන්ම මෙය අපගේ කණ්ඩායමේ කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් බවත්, මෙමගින් ඔවුන් තවදුරටත් දිරිමත් වනු ඇති බවත් මා විශ්වාස කරනවා. අභියෝගකාරී වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ පවා සාර්ථක වීමට අපට හැකි වී ඇත්තේ ඔවුන්ගේ මේ කැපවීම නිසයි. එමෙන්ම මෙය නව්‍ය විසඳුම් හඳුන්වා දෙමින් අපගේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ට ඉහළම වටිනාකම් තිළිණ කිරීම සඳහා අප දරන උත්සාහයට ලැබුණු ඇගයීමක් ලෙසත් හැඳින්විය හැකියි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගැනීමේදී විශිෂ්ට කාර්යසාධනය, නවෝත්පාදනය, නායකත්වය, වර්ධනය, ලාභදායීත්වය සහ පාරිභෝගික සේවාවේ කාර්යක්ෂමතාව ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගන්නා ලදි. මෙය ආසියානු කලාපයේ බැංකු සේවා ක්ෂේත්‍රයේ සමාගම් හා ආයතනවලට තම සාර්ථකත්වය විදහා දක්වමින් ඇගයුම් හිමිකර ගැනීම සඳහා ලැබුණු අගනා අවස්ථාවක් ලෙස හඳුන්විය හැක.

සමාගමක් දීර්ඝකාලීන සාර්ථකත්වය ඉලක්ක කරගනිමින් ඉදිරියට යාමේදී අභියෝගවලට ඔරොත්තු දීම සහ අනුගත වීම මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් ඔස්සේ තමන්ගේ මෙන්ම සමස්ත ක්ෂේත්‍රයේම දියුණුව උදෙසා කැපවීම කෙතරම් වැදගත්ද යන්න මෙම ජයග්‍රහණ මගින් මැනැවින් පැහැදිලි වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments