Monday, October 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකශක්තිමත් ප්‍රාග්ධන හා ද්‍රවශීලතා පදනම හේතු කොටගෙන සම්පත් බැංකුව විශ්වාසයෙන් යුතුව...

ශක්තිමත් ප්‍රාග්ධන හා ද්‍රවශීලතා පදනම හේතු කොටගෙන සම්පත් බැංකුව විශ්වාසයෙන් යුතුව වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කටයුතු කරනු ලබයි

සම්පත් බැංකුව 2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී විවිධ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හා ස්ථාවර ද්‍රවශීලතාවය පවත්වා ගැනීමට සමත් විය. බැංකුව සිය ශක්තිමත් බව හා තිරසාර බව මැනවින් විදහා දක්වමින් සුපරීක්ෂාකාරී ලෙස හා නිරන්තර අවධානයෙන් යුතුව වර්තමාන ආර්ථික ගැටළු හඳුනා ගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අඛණ්ඩව කටයුතු කරනු ලබයි. ඒ අනුව තව දුරටත් විදේශ මුදල් ද්‍රවශීලතාවය ඉහල නංවා ගැනීම සඳහා අභ්‍යන්තර ප්‍රේෂණ හා අපනයන ආදායම් ගලා ඒම දිරිමත් කිරීම ප්‍රවර්ධනය කිරීමට බැංකුව කටයුතු කරන ලදී. පවතින ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක් වූ සියලුම පාර්ශ්වකරුවන්ට එම තත්වයෙන් මිදීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට අඛණ්ඩව සහයෝගය ලබා දීමට බැංකුව කටයුතු කරන ලදී.

පවතින දැඩි ආර්ථික ව්‍යාකූලත්වය මධ්‍යයේ වුවද 2022 ජූනි මස 30 න් අවසන් වන කාලඡේදය සඳහා සම්පත් බැංකුව රුපියල් බිලියන 7.1ක බදු පසු ලාභයක්ද, රුපියල් බිලියන 9ක බදු පෙර ලාභයක්ද වාර්තා කිරීමට සමත් වූ අතර 2021 වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී එය පිළිවෙලින් 0.3%ක සුළු ඉහල යාමක් හා 5.5%ක පහළ යාමක් විය. සමූහය සඳහා මෙය රුපියල් බිලියන 7.4ක බදු පසු ලාභයක්ද රුපියල් බිලියන 9.6ක බදු පෙර ලාභයක්ද ලෙස වාර්තා කළ අතර මෙය 2021 වර්ෂයේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 2%ක හා 5.5%ක පහළ යාමකි.

සම්පත් බැංකුව 2022 වසරේ පළමු අර්ධය සඳහා වාර්තා කරන ලද මූල්‍ය ප්‍රතිඵල 

  • සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) වර්ධනය වීමත් සමඟ 4.85%ක ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් වාර්තා කිරීම
  • ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 80%කින් එනම් රුපියල් 160.25කින් තියුණු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ විනිමය ආදායම 323%ක ඉහල වර්ධනයක් වාර්තා කිරීම.
  • කාඩ්පත් හා වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගෙන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 69.9%ක සැලකිය යුතු වර්ධනයක් කරා ළඟා වීම.
  • ඇතිවිය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් ආවරණය වන අයුරින් ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා ඉහල අපහායන ප්‍රතිපාදනයක් වෙන් කිරීම.
  • බැංකුවේ ආරම්භක රඳවාගත් ඉපයීම් ශේෂයට එරෙහිව රුපියල් බිලියන 2.67ක අධිභාර බද්දක් හඳුනා ගැනීම

අරමුදල් මත පදනම් වූ ආදායම

බැංකුවේ මුළු පොලී ආදායම 2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී රුපියල් බිලියන 59.2ක් වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 41.9 සමග සැසඳීමේදී 41.1%ක වර්ධනයකි. 2022 වසරේ පළමු අර්ධය තුළදී වෙළෙඳපොල පොලී අනුපාතයන් ඉහල යාම මෙලෙස මෙම පොලී ආදායම සැලකිය යුතු ලෙස ඉහල යාම කෙරෙහි බලපාන ලදී. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය අවසානයේ වාර්තා වූ සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 22.62%ක් වූ අතර එය 2021 ජූනි මස 30 වන දිනට වාර්තා කරන ලද අගය හා සැසඳීමේදී පදනම් ලකුණු 1,711ක ඉහල යාමකි. තවද දැනට පවතින සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය 2021 වර්ෂය අවසානයේ පැවති අගයට වඩා පදනම් ලකුණු 1,401කින් වැඩිවී ඇත. මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2021 ජූනි මස 30 වන දිනට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට පදනම් ලකුණු 1,861කින් ඉහල ගොස් 23.84%ක් ලෙස වාර්තා කරන ලදී.

පොලී අනුපාතයන් ඉහල යාමේ ප්‍රවණතාවයන් හෙතුවෙන් පොලී වියදමද පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 22.6%කින් ඉහල ගොස් ඇත. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ මුළු පොලී වියදම රුපියල් බිලියන 27.8ක් වූ අතර එය 2021 වර්ෂයේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.7ක් විය. කෙසේ වෙතත් බැංකුවේ විචක්ෂණශීලී වත්කම් හා වගකීම් කළමනාකරණය හේතුවෙන් 2022 වර්ෂයේ පළමු අර්ධය සඳහා ශුද්ධ පොලී ආදායම 63%ක වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් විය. මෙම ප්‍රවණතාවය ශුද්ධ පොලී ආන්තිකය පදනම් ලකුණු 124කින් ඉහල යාම තුලින් පිළිබිඹු විය.

අරමුදල් මත පදනම් නොවූ ආදායම් 

2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී සම්පත් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 69.9%ක වර්ධනයක් අත්පත් කර ගන්නා ලදී. මෙම ආදායම ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳාම් හා විද්‍යුත් නාලිකා යන අංශවලින් සමන්විත වේ. සලකා බලනු ලබන කාලපරිච්ඡේදය තුළදී කාඩ්පත් ආශ්‍රිත ව්‍යාපාර පරිමාව ඉහල යාමත් වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් ගාස්තු හා කොමිස් ආදායම් ඉහල යාමත් මෙම ආදායමේ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.

2022 පළමු අර්ධය තුළ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 16ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 3.4ට සාපේක්ෂව 378%ක වර්ධනයකි. මේ සඳහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 80%කින් අවප්‍රමාණය වීම ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව බැංකුව පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කළ වෙළෙඳ ලාභය වූ රුපියල් මිලියන 46ට සාපේක්ෂව මෙම වර්ෂයේ සලකා බලනු ලබන කාලපරිච්ඡේදය සඳහා  රුපියල් බිලියන 2.5ක වෙළෙඳ අලාභයක් වාර්තා කරන ලදී. මුළු විදේශ විනිමය ආදායම 2021 වර්ෂයේ පළමු අර්ධය තුළදී වාර්තා කළ රුපියල් බිලියන 3ට සාපේක්ෂව 2022 වසරේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 13ක් ලෙස වාර්තා කරන ලදී.

අපහායන අයකිරීම්

බැංකුව තවදුරටත් දූරදර්ශී ලෙස ක්‍රියා කරමින් 2022 වසරේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 28.2ක අපහායන අයකිරීමක් හඳුනා ගන්නා ලද අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා හඳුනා ගන්නා ලද රුපියල් බිලියන 5ට සාපේක්ෂව 464%ක ඉහල වර්ධනයකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 19.3කින් ද මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 7.8කින් ද සමන්විත වන අතර තවත් රුපියල් බිලියන 1.1ක් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව වෙන් කරන ලදී.

ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් 

බැංකුව විසින් පිරිහෙමින් පවතින සාර්ව ආර්ථික තත්වයන් නිරූපණය වන ආකාරයට අපහායන ගණනය කිරීම් සඳහා භාවිතා කරනු ලබන සම්භාවිතාමය බර තැබීම් ඉහල දැමීම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා ලද අතර ඒ අනුව වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා ආර්ථිකමය සාධක ගැලපීම යටතේ සැලකිය යුතු ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. 2022 වසරේ දෙවන කාර්තුව තුළ සාර්ව ආර්ථිකය තවදුරටත් පහළ යාමට ඇති සම්භාවිතාවය සඳහා බර තැබීම් තව දුරටත් ඉහල දමන ලදී.

බැංකුව ඉහල යන ආර්ථික අවදානම් තත්වයන්ට යෝග්‍ය වන පරිදි හා සියලුම ප්‍රධාන ආර්ථික විචල්‍යයන් සම්බන්ධයෙන් නවතම දත්ත භාවිතා කරමින් ආර්ථික සාධක ගැලපුම් ක්‍රමවේදය තවදුරටත් යාවත්කාලීන කරන ලදී. ඉහත ක්‍රියාවලීන් මගින් වත්මන් ආර්ථික අභියෝග හමුවේ ඇති විය හැකි ණය අවදානම් ආවරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් අපහායන ප්‍රතිපාදනයන් වෙන් කිරීමට කටයුතු කරන ලදී.  

ඉදිරියේදී ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ගනුදෙනුකරුවන් සඳහා වෙන් කරන ලද අතිරේක ප්‍රතිපාදනයන් ඉහල දැමීමට බැංකුව විසින් තීරණය කරන ලදී. තවද 2021 වසර අවසානයේ සහනදායී ණය යෝජනා ක්‍රමයෙන් බැහැරවූ ගනුදෙනුකරුවන් සඳහා ද තවදුරටත් අපහායන වෙන්කිරීම් පවත්වාගෙන යන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 දෙසැම්බර් 31ට සාපේක්ෂව අදියර 1 හා අදියර 2 ණය සඳහා සමුච්චිත අපහායන වෙන්කිරීම් පිළිවෙලින් 27.3%ක හා 63.5%ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. 

තවද බැංකුව විසින් අවදානම් සහගත කර්මාන්ත ලෙස හඳුනාගන්නා ලද කර්මාන්තවල නියුතු ගනුදෙනුකරුවන් අදියර 2 දක්වා මාරු කිරීම අඛණ්ඩව සිදු කරන ලදී. මීට අමතරව බැංකුව සිය ගනුදෙනුකරුවන් සමීපව නිරීක්ෂණය කරමින් ආර්ථික අභියෝග හමුවේ ඇති විය හැකි අහිතකර බලපෑම දරාගැනීමේ හැකියාවන් අනුව ඔවුන්ව අදියර 1 සිට අදියර 2 දක්වා මාරු කරන ලදී.

2022 වසරේ පළමු අර්ධය තුළදී අදියර 3 ණය සඳහා වෙන් කරන ලද සමුච්චිත අපහායන ප්‍රතිපාදනයන්ද 40.52%කින් ඉහල දමන ලදී. මීට මූලික වශයෙන් හේතු වූයේ 2021 වසර අවසානයට සාපේක්ෂව අදියර 3 ණය ප්‍රමාණය ඉහල යාම හා අදියර 3 යටතේ සිටින ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු  සඳහා ප්‍රතිපාදනයන් නැවත ගණනය කිරීමයි.

අනෙකුත් මූල්‍ය උපකරණ මත වූ අපහායන අය කිරීම් 

සම්පත් බැංකුව විසින් 2022 ජූනි 30 වන විට ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රුපියල් බිලියන 7ක් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා රුපියල් බිලියන 11.8ක ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. ෆිච් ශ්‍රේණිගත කිරීම් මඟින් 2022 මැයි මාසය තුළදී ශ්‍රී ලංකා ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම C සිට RD දක්වා පහත හෙලීම සහ රජය විසින් ගනු ලැබූ අනෙකුත් වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ග මෙම තීරණයට ප්‍රධාන වශයෙන් බලපාන ලදී.

මෙහෙයුම් වියදම්

2022 වසරේ පළමු අර්ධය සඳහා මෙහෙයුම් වියදම රුපියල් බිලියන 13.7ක් වූ අතර එය 2021 වසරේ පළමු අර්ධයේ වාර්තා කළ රුපියල් බිලියන 11ට සාපේක්ෂව 24.3%ක වර්ධනයකි. මේ සඳහා මූලිකව හේතු වූයේ 2022 වසරේ මුල් මාස 6 තුළදී සැලකිය යුතු ලෙස ඉහල යන ලද උද්ධමන අනුපාතයයි. මෙහෙයුම් වියදම්වල වාර්තාගත වර්ධනයක් තිබියදීත් 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා කළ 39.51%ට සාපේක්ෂව 2022 වසරේ පළමු අර්ධය අවසානයේදී ආදායම් පිරිවැය අනුපාතය 25.45%ක් දක්වා එනම් පදනම් ලකුණු 1,406කින් පහත වැටිණි. මුළු මෙහෙයුම් වියදමේ ඉහල යාමට සාපේක්ෂව මුළු මෙහෙයුම් ආදායම සීග්‍රයෙන් ඉහල යාම ආදායම් පිරිවැය අනුපාතයේ සීග්‍ර පහල යාමට මූලික වශයෙන් හේතු විය.

ප්‍රධාන අනුපාතයන්

සාමාන්‍ය කොටස් හිමියන්ගේ කොටස්වල ප්‍රතිලාභය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා කළ 11.05%ට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට 12.06%ක් දක්වා ඉහල ගොස් ඇත. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) 2021 වසරේ වාර්තා කළ 1.44%ට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට 1.43%ක් ලෙස වාර්තා කරන ලදී.

ප්‍රාග්ධන අනුපාතයන්

2022 වසරේ පළමු අර්ධය පුරාවට තම සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහල මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. පළමු පෙල සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය,  සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් 2021 වර්ෂය අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02%ට සාපේක්ෂව 2022 වසරේ ජූනි 30 දින වන විට පිළිවෙලින් 11.3%, 11.3%, හා 13.82%ක් ලෙස වාර්තා විය. අදාල කාලපරිච්ඡේදය තුළ මුළු ප්‍රාග්ධන අනුපාතය පහත වැටීම කෙරෙහි ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් අවදානම මත බර තබන ලද වත්කම්වල ඉහල යාම, මුදල් ලාභාංශ හා අධිභාර බදු ගෙවීම හේතු විය.

ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සහගත තත්වයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් ස්වාරක්ෂක සහිතව සිය ප්‍රාග්ධන අනුපාතයන් විචක්ෂණ මට්ටමින් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මනා ස්ථාවරත්වයක් බැංකුව සතුව ඇත.

වත්කම් හා වගකීම්

2021 දෙසැම්බර් 31 දිනට රුපියල් ටි්‍රලියන 1.2ක්ව පැවති සම්පත් බැංකුව සතු මුළු වත්කම් රුපියල් බිලියන 122ක වර්ධනයක් (වාර්ෂික වර්ධනය 20.2%) සහිතව 2022 ජූනි 30 වන විට රුපියල් ටි්‍රලියන 1.3ක් දක්වා ළඟා වීමට සමත් විය. මේ සඳහා මුළු ණය හා අත්තිකාරම් හා මුදල් හා මුදලට සමාන දෑ වල ඉහල යාම හේතු විය. 2022 වසරේ පළමු අර්ධය තුළදී දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් අගය කරන ලද වත්කම්වල දේශීය මුදලට පරිවර්තනය කරන ලද අගය ඉහල යාම ශේෂ පත්‍රයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන ලදී. විනිමය අනුපාතයන් වෙනස් වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු වත්කම්වල වාර්ෂික වර්ධනය දළ වශයෙන් 5%ක් ලෙස වාර්තා විය.

මුළු අත්තිකාරම් ප්‍රමාණය 2021 දෙසැම්බර් 31 දිනට වාර්තා කරන ලද රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 29.7%ක (වාර්ෂික) වර්ධනයක් සහිතව 2022 ජූනි 30 වන විට රුපියල් බිලියන 933ක් දක්වා වර්ධනය විය. ශ්‍රී ලංකා මුදලින් අගය කරන ලද ණය හා අත්තිකාරම් වල වර්ධනය (වාර්ෂික)13.6%කි. සලකනු ලබන කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 160.25කින් අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් අගය කරන ලද ණයවල වටිනාකම  ඉහල යන ලදී. විනිමය අනුපාතය වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු ණය හා අත්තිකාරම් ප්‍රමාණයේ වර්ධනය 9.8%ක් (වාර්ෂිකව) වේ.

තවද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ණය කළඹ නැවත වර්ගීකරණය පිළිබඳ විකල්ප ක්‍රමවේද ප්‍රකාශනය (SOAT) මඟින් අවසර දී ඇති පරිදි වාර්තා කරන කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් අනෙකුත් විස්තරාත්මක ආදායම තුලින් සාධාරණ අගයට අගය කරන ලද රුපියල් බිලියන 33ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ක්‍රමක්ෂය පිරිවැය වෙත මාරු කරන ලදී.

2021 වසර අවසානයේ වාර්තා කරන ලද දේශීය මුදල් තැන්පතු කළඹ 9.24%කින් පහල යන ලදී. මෙයට හේතු වූයේ  අදාල කාලපරිච්ඡේදය තුළ බැංකුවට ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පැවතීමත් එම නිසා තැන්පතු වර්ධනය කර ගැනීමේ ක්‍රියාමාර්ග 2022 වසරේ පළමු අර්ධය තුලදී ක්‍රියාත්මක නොකිරීමත්ය. 2022 වසරේ පළමු අර්ධය අවසානයේදී බැංකුව සතු ජංගම හා ඉතුරුම් තැන්පතු අනුපාතය 40.6%ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත් තරඟකාරී වෙළෙඳපොල පොලී අනුපාත හා නව කාල සීමාවන් යටතේ තැන්පතු හඳුන්වාදීම තුලින් බැංකුව 2022 වසරේ ජූලි මස තුළදී තැන්පතු වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන ලදී. 

අධිභාර බදු

2022 අප්‍රේල් 08 වන දින සහතික කරන ලද 2022 අංක 14 දරණ අධිභාර බදු පනතට අනුව 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම වූ රුපියල් මිලියන 10,682 මත පදනම්ව රුපියල් මිලියන 2,671ක අධිභාර බදු වගකීමකට බැංකුව යටත් වේ. තවද සම්පත් සමූහය සඳහා අධිභාර බදු වගකීම රුපියල් මිලියන 3,233කි. එකී පනතට අනුකූලව 2020 ජනවාරි 01 දිනෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයේ එම බදු මුදල වියදමක් ලෙස සැලකිය යුතුය. එම පනත ශ්‍රී ලංකා ගිණුම්කරණ නියමයන් ඉක්මවා යාම හේතුවෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද අධිභාර බදු සඳහා ගිණුම්කරණය පිළිබඳ විකල්ප ක්‍රමවේද ප්‍රකාශනයේ සඳහන් නිර්දේශයන්ට අනුකූලව අධිභාර බදු වියදම් ගිණුම්ගත කරන ලදී. ඒ අනුව 2022 ජූනි 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළදී 2022 ජනවාරි 01 දිනට පැවති ආරම්භක රඳවාගත් ඉපයීම්වලට ගැලපීමක් ලෙස අධිභාර බදු සම්පූර්ණ වගකීම හඳුනා ගන්නා ලදී.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments