Thursday, December 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත් ‘සම්පත් සංහිඳ සේවර්’, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත රුපියල් මිලියන 200ක සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි...

 ‘සම්පත් සංහිඳ සේවර්’, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත රුපියල් මිලියන 200ක සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි කර දෙයි

ජාතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සුරක්ෂිත කිරීමේ සම්පත් බැංකුවේ නිරන්තර කැපවීම තව තවත් අරුත් ගන්වමින් දිවයින පුරා විසිරුණු ‘සම්පත් සංහිඳ සේවර්’ ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 200ක අසමසම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව 2021 වසරේ ජූලි 1 වන දින සිට 2022 වසරේ ජූනි 30 වන දින දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් තම ගිණුම්වල පවත්වාගෙන යනු ලැබූ ශේෂය මත පදනම්ව මෙම ප්‍රතිලාභ ඔවුන් වෙත හිමිකර දීමට සම්පත් බැංකුව කටයුතු කරයි. ඒ සඳහා හිමි වන මුදල් අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංහිඳ වෛද්‍ය ප්‍රතිලාභ කාඩ් වෙත බැර වන අතර ඒ තුළින් තෝරාගත් රෝහල්, රසායනාගාර හා ඔසුසල් වෙත මුදල් ගෙවීමේ පහසුවද ඔවුන්ට හිමි වේ. ‘සම්පත් සංහිඳ සේවර්’ 2009 වසරේ ආරම්භයේ සිටම සම්පත් බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා දෙන ඉහළම ඇගයීම ලෙසද සඳහන් කිරීම නිවැරදිය.

ඒ යටතේ වන හවුල්කාර ආයතන ලෙස ආසිරි රෝහල් සමූහය, CDEM රෝහල, දෙරණ වෛද්‍ය රසායනාගාරය, හේමාස් රෝහල්, ලංකා රෝහල්, මෙඩි හෙල්ප් රෝහල්, නවලෝක රෝහල්, නාවින්න මෙඩි කෙයාර් රෝහල්, නොදර්න් සෙන්ට්‍රල් රෝහල, පන්නිපිටිය පෞද්ගලික රෝහල, සෙත්මා රෝහල්, කිංග්ස් රෝහල, මෙල්ස්ටා ලැබ්, මෙල්ස්ටා ෆාමසි, සිංහ රෝහල්, සදර්න් ලංකා රෝහල්, වින්සෙත රෝහල සහ තෝරාගත් රාජ්‍ය ඔසුසල් (රාජ්‍ය ඖෂධ සංස්ථාව) හා විෂන් කෙයාර් දෘෂ්ඨි විශේෂඥ මධ්‍යස්ථානය සඳහන් කළ හැකිය.

තවද සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන් හට 0112 30 30 80 අංකයට මිස්ඩ් කෝල් එකක් ලබා දීමෙන්, ළඟම ඇති සම්පත් බැංකු ශාඛාවට පැමිණීමෙන් හෝ 112 30 30 50 අංකයෙන් බැංකුවේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් තමන්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභ කාඩ්පතෙහි ඇති ශේෂය දැන ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිය.

සම්පත් බැංකුව විසින් ලබාදෙන මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ වඩා වැදගත් වන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය, දේශපාලන ව්‍යාකූලත්වය, ඉන්ධන අර්බුදය, දරුණු ආර්ථික පසුබෑම මෙන්ම ඖෂධ හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් පවතින තත්වයක් තුළ දුෂ්කරතාවයන්ට මුහුණ නොදී  තමන්ගේ සෞඛ්‍ය ගැටළු විසඳා ගැනීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවස්ථාව උදා වීමයි. මින් පිළිබිඹු වන්නේ රටටත්, ව්‍යාපාරික ප්‍රජාවටත් යළි නැගී සිටින්නට දිරි දෙන අතරම තම ගනුදෙනුකරුවන් වෙනුවෙන්ද නිරන්තරයෙන් පෙනී සිටීමේ සම්පත් බැංකුවේ අසමසම කැපවීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ඩිජිටල්කරණ, තැන්පතු ප්‍රවර්ධන හා අලෙවිකරණ – තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “අපගේ වැඩිහිටි ජනතාවගේ යහපැවත්ම පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ජාති, ආගම් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් පොදුවේ බෙදා ගනු ලබන කරුණක් බව මතක් කළ යුතුයි. විශේෂයෙන් අපගේ ජාතික සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගත් එවන් ලක්ෂණයක් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප වඩාත් සතුටට පත්වන්නේ සම්පත් බැංකුව ද එවන් වටිනාකම් රැසකින් පිරි ඇති හෙයිනි.  ‘සම්පත් සංහිඳ සේවර්’ සෞඛ්‍ය ප්‍රතිලාභ පැකේජය රුපියල් මිලියන 200ක් දක්වා ඉහළ නැංවීම තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන් දහස් ගණනකට මේ වසරේ මුහුණ දෙන දුෂ්කරතා සමඟ ඔවුන්ට අත්විඳීමට සිදුවන වියදම් පියවා ගැනීමට උපකාරී වනු ඇතැයි අපගේ විශ්වාසයයි” යනුවෙනි.

‘සම්පත් සංහිඳ සේවර්’ ගිණුම මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ලබාදෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳ අදහස් දක්වමින් සම්පත් බැංකුවේ ප්‍රධාන කළමනාකාර තැන්පතු ප්‍රවර්ධන/ විකුණුම් ප්‍රධානී අමිල තෙවරප්පෙරුම මහතා “ ‘සම්පත් සංහිඳ සේවර් ගිණුම’ තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් වෙනුවෙන් විශාල ප්‍රතිලාභ ලබා දෙන අතරම ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වන වියදම් වැනි තවත් අමතර ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. වැඩිම පොලියක් ලබා දෙන ‘සම්පත් සංහිඳ සේවර් ගිණුම’ සඳහා බැංකුව විසින් මසකට දෙවරක් පොලියක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. නිරන්තරයෙන් නව්‍ය ඉතුරුම් ක්‍රමයන් හරහා සියලු ශ්‍රී ලාංකිකයින් වෙත වැඩි වටිනාකමක් ලබා දීම තුළින් සම්පත් බැංකුව ජනතාවගේ වෙනස්වන අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා සපුරාලීම සඳහා ඉතා වැදගත් මූල්‍ය සැලසුම් ඉදිරිපත් කරන බවට මෙය ඉතා හොඳ නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. ” යනුවෙන් පවසා සිටින ලදී.

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝගයන් මධ්‍යයේ වුවද 2022 වසරේ පළමු කාර්තුව තුළ නියාමන අවශ්‍යතාවන් ඉක්මවූ ප්‍රාග්ධන අනුපාතයක් පවත්වා ගැනීමට සමත් විය. සිය ගනුදෙනුකරුවන් වෙත සුවිසල් අස්වැසිල්ලක් වෙමින් වසංගතය හේතුවෙන් පීඩාවට ලක් වූ සුදුසුකම්ලත් සියලු ගනුදෙනුකරුවන් වෙත රජය විසින් පිළිගන්වන ලද සියලු සහන ඒ ආකාරයෙන්ම  ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කරන ලදී. විශේෂයෙන් වසංගත කාලය තුලදී සිය ඩිජිටල්කරණ උපාය මාර්ගයන් තුළින් ගනුදෙනුකරුවන්ට පහසු හා ආරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට කැපවූ සම්පත් බැංකුව ඒ තුළින් යළි යළිත් තහවුරු කරනු ලැබුවේ සිය බැංකු සේවාවෙහි විශිෂ්ටත්වයයි.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

 

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments