ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදන ආයතනය වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් 20 වැනි වරටත් සංවිධානය කරනු ලබන DSI Super sport පාසල්වොලිබෝල් තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ 02, නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කෙරිණ.
ශ්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා DSI පූර්ණ අනුග‍්‍රාහකත්වයෙන් පැවැත්වෙන DSI Super sport පාසල් වොලිබෝල් තරගාවලිය සඳහා අයදුම්පත් 2022 පෙබරවාරි මස 15 වැනිදා සිට දිවයින පුරා පාසල් හා සියළු DSI ප‍්‍රදර්ශනාගාර වලින් අයදුම්පත් ලබාගත හැකිය. සම්පූර්ණ කළ අයදුම්පත් ළඟම පිහිටි DSI ප‍්‍රදර්ශනාගාරයකට ගෙනැවිත් භාරදිය හැකි අතර අලෙවි අංශය අංක 257,හයිලෙවල් පාර,නාවින්න,මහරගම ලිපිනයට තැපැල් මගින් එවීමද සිදු කළ හැකිය. අයදුම්පත් භාරගැනීම 2022 මාර්තු මස 15 වැනිදා දක්වා සිදුකෙරේ.
වයස අවුරුදු 11 න් පහල,13 න් පහල,15න් පහල,17න් පහල හා 19න් පහල වයස් කාණ්ඩ අනුව බාලක හා බාලිකා වශයෙන් මෙවර DSI Super sport පාසල් වොලිබෝල්තරගාවලිය පැවැත්වේ. මාර්තු මස 26 වැනිදා සිට මැයි මස 8 වැනිදා දක්වා DSI Super sport පාසල් වොලිබෝල්තරගාවලිය වෙනුවෙන් දිස්ත‍්‍රික් තරග, ඒ ඒ දිස්ත‍්‍රික්ක මට්ටමෙන් ද, ජාතික මට්ටමේ තරග ජූනි 15 වැනිදා සිට 21 වැනිදා දක්වා ගාල්ල දඩල්ල වොලිබෝල් මධ්‍යස්ථානයේදී ද පැවැත්වේ. DSISupersportපාසල් වොලිබෝල්තරගාවලියේ අවසන් තරග 2022 ජූලි මස 2 හා 3 දෙදින දවස පුරා පැවැත්වීමට නියමිතය.
ග‍්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක‍්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරුදැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට DSI ප‍්‍රධානත්වයෙන් වර්ෂ 1999 දී ආරම්භ කළ DSISupersportපාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලාංකීය වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කැපීපෙනෙන දියුණුවකට මග හෙළි කළ සංධිස්ථානයකි. DSI Super sport පාසල් වොලිබෝල් තරගාවලිය හරහා එදාමෙදාතුර ශ්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට දක්ෂ වොලිබෝල් ක‍්‍රීඩා තරු 1000 කට ආසන්න ප‍්‍රමාණයක් හඳුන්වා දී තිබේ. මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පැමිණි පාසල් වොලිබෝල් කණ්ඩායම් 198 ක් මෙම ශූරතාවයේදී දස්කම් දක්වන්නට සමත්ව තිබේ. මෙම වසරේදී 5000 කට අධික කණ්ඩායම් ප‍්‍රමාණයක් තරගාවලියට සහභාගී වේ යැයි අපේක්ෂා කෙරේ.
ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා අදහස් දක්වමින් “DSI Super sport පාසල් වොලිබෝල් තරගාවලියට වසර 20 ක් සම්පූර්ණ වන 2022 අවුරුද්ද අපට විශේෂයි. ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ වැදගත්ම සංධිස්ථානයක් වෙනුවෙන්DSI අනුග‍්‍රාහකත්වය අඛණ්ඩව ලබාදීමට හැකිවීම අප සමාගමට මහත් ගෞරවයක්. වොලිබෝල් ක‍්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කොට සංවර්ධනය කරන්නටත්, මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණනාවක් ජාතික මට්ටමට හඳුන්වාදීමටත්,DSI Super sport පාසල් වොලිබෝල්තරගාවලිය සමත්ව තිබෙනවා.”යැයි පැවසීය.