ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාම් තෙල් නිෂ්පාදන සමාගමක් වන AEN Palm Oil Processing (පුද්.) සමාගම, තම ප්‍රධාන කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ වෙසෙන දරුවන් 650 දෙනෙකුට දිවා ආහාර සැපයීමේ ප්‍රජා සත්කාරයක් ආරම්භ කර තිබේ. ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් (පුද්.) සමාගම සියයට සියයක් ශ්‍රී ලාංකික සමාගමක් වන අතර එහි කොටස්කරුවන් වන අගලවත්ත, ඇල්පිටිය සහ නමුණුකුල යන සමාගම් ශ්‍රී ලංකාවේ පොදු ලැයිස්තුගත සමාගම් වේ.

රටේ පවතින ආර්ථික අර්බුදයේ හමුවේ දැඩි බලපෑම් වලට ලක් වූ ජනතාවට අත්වැලක් වීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙම ප්‍රජා සත්කාරය ක්‍රියාවට නංවා ඇත. ‘ප්‍රජා මුළුතැන්ගෙය’ සංකල්පය මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහනට ප්‍රදේශයේ දෙමාපියන් හා වැඩිහිටියන්ද සම්බන්ධ කරගැනීමට ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් සමාගම පියවර ගෙන තිබේ.
“අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අතිවිශාල ලෙස වැඩි වී, ආහාර කාණ්ඩයේ උද්ධමනය 90% ක් දක්වා ඉහළ ගොස් තිබෙන පසුබිමක් තුළ, දෙමාපියන්ට තම දරුවන් පාසල් යැවීමට පවා අපහසු වන තත්ත්වයක් උදා වී තිබෙනවා. දරුවන්ට ආහාර සැපයීමට නොහැකි නිසා ඇතැම් දෙමාපියන් එම දරුවන් පාසල් නොයවා සිටීමට පෙළඹී සිටින බව අපට පෙනී ගියා. වගකීම්සහගත සමාගමක් ලෙස, මේ මොහොතේ ජනතාවට අත්වැලක් වීම අපගේ යුතුකමක්. මේ ආකාරයට ප්‍රදේශයේ දරුවන් 650 කට දිනපතා සම්පූර්ණ ආහාරවේලක් බැගින් ලබාදීමට අප පියවර ගත්තේ ඒ නිසයි. රටේ අනාගතයට උරදීමේ හැකියාව සහිත වගකීම්සහගත පුරවැසියන් පිරිසක් බිහිකිරීමට නම්, අප දරුවන්ට පෝෂණය ලබා දී ඔවුන්ට නිසි රැකවරණය සැලසිය යුතු වනවා. තත්ත්වය බරපතළ වුවත්, මේ තීරණාත්මක මොහොතේ මේ ආකාරයට හෝ ජනතාවට සහනයක් සැලසීමට හැකි වීම අපට සතුටක්.” ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවන් ගුණවර්ධන මහතා පැවසී ය.
මෙම ප්‍රජා සත්කාරය සඳහා ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් (පුද්.) සමාගම මේ වනවිට මාසිකව රු. මිලියන 1.2 ක පමණ මුදලක් වෙන්කර ඇත. 2022 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහනේ මූලික අරමුණු වන්නේ, දරුවන්ට නිසි පෝෂණයක් ලබාදෙමින්, ඔවුන්ගේ පාසල් ගමන දිරිමත් කිරීම ය. මෙම ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ පාසල් යන දරුවන් සංඛ්‍යාවේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
එමෙන්ම, ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපත වෙනුවෙන් තවත් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට සමාගම පියවර ගෙන ඇත. මීට අමතරව, සමාගමේ සමාජ සංවර්ධන වැඩසටහන් මාලාවේ කොටසක් වශයෙන් 2011 වසරේ සිටම පාසල් සිසුන් 2,500 කට අධික පිරිසකට පොත්පත් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමටද AEN Palm Oil Processing (පුද්.) සමාගම කටයුතු කර තිබේ.