asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsIndiGo යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් අරඹයි....

IndiGo යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් අරඹයි….

ඉන්දියාවේ ජනප්‍රියතම ගුවන් සේවාවක් වන IndiGo, 2024 සැප්තැම්බර් මස 01 වන දින සිට යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. කොළඹට අමතරව IndiGo පියාසර කරන දෙවැනි ශ්‍රී ලාංකික ගමනාන්තය මෙයයි. මෙය IndiGo ජාලයේ 34 වැනි ජාත්‍යන්තර ගමනාන්තය වන අතර, 6E ජාලයේ 122 වෙනි ගමනාන්තයද වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු දීර්ඝ කාලයක පටන් සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතා මෙන්ම යටිතල පහසුකම් සංවර්ධන හා ගුවන් සේවා හවුල්කාරීත්වයන් පවත්වාගෙන යන රටවල් දෙකකි. යාපනය IndiGo ජාලයේ ගමනාන්ත අතරට එක්වීමත් සමග මෙම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.  

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතරින් විශාල පිරිසක් ඉන්දියානු ජාතිකයන් ය. 2023 වසරේදී ඉන්දියානු සංචාරකයන් 26,830 ක් පමණ මෙරටට පැමිණි අතර, එය මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාවෙන් 26.7% කි. 2024 වසරේදී ඉන්දියානු සංචාරකයන් 28,631 ක් මෙරටට පැමිණි අතර ප්‍රතිශතයක් වශයෙන් එය 25.2% ක් විය. එමෙන්ම යාපනය සම්බන්ධයෙන් සංචාරකයන් තුළ පවතින උනන්දුවද ඉහළ ගොස් තිබේ. මෙවැනි පසුබිමක් තුළ IndiGo ගුවන් සේවාව යාපනය වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, සංචාරකයන්ට ඉමහත් පහසුවක් වනු ඇත. එමෙන්ම මින් ඉදිරියට, IndiGo ගුවන් සේවාව භාවිතා කරමින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට කොළඹට අමතරව තෝරාගත හැකි විකල්ප ගමනාන්තයක් බවට යාපනය පත් වනු ඇත.  

මෙම නව තීරණය සම්බන්ධයෙන් IndiGo ගෝලීය විකුණුම් ප්‍රධානී විනේයි මල්හෝත්‍රා මහතා මෙසේ පැවසී ය. “යාපනය අපගේ නවතම ගමනාන්තය බවට පත් වීම අපට මහත් සතුටක්. මෙය දෙරට අතර වෙළඳ හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමට මහෝපකාරී වේවි. චෙන්නායි සහ කොළඹ අතර දිනපතා ගුවන් ගමන්වලට අමතරව අප ඉන්දියාවේ ස්ථාන 4 ක සිට කොළඹ දක්වා සතියකට ගුවන් ගමන් වාර 30 ක් ක්‍රියාත්මක කරනවා. චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමනට ගතවන කාලය විනාඩි 75 ක් පමණයි. ඒ අනුව IndiGo ගුවන් සේවාව භාවිතා කිරීම තුළින් මගීන්ට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් යාපනය වෙත ළඟා වීමට හැකි වේවි. මේ ආකාරයට නිරන්තරයෙන් අපගේ ආවරණ පරාසය පුළුල් කරමින්, අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම ඔවුන්ට නව ගමනාන්තයන් ගවේෂණය කිරීමට අත්වැලක් වීම අපගේ ඉලක්කයයි.”

චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් සඳහා ගුවන් මගීන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතී. පසුගිය වසරේ මාස 9 ක කාලයක් තුළ මගීන් 21,000 කට අධික සංඛ්‍යාවක් මෙම ගමනාන්ත දෙක අතර පියාසර කර තිබේ. IndiGo ගුවන් සේවය මෙලෙස චෙන්නායි සහ යාපනය අතර සෘජු ගුවන් ගමන් හඳුන්වා දීම මගින් මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වනු නිසැක ය. මෙය විදේශීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනයේ කේන්ද්‍රීය නගරයක් වන යාපනය වෙත වඩාත් පහසුවෙන් ළඟා වීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින බුද්ධිමය, සංස්කෘතික, ආගමික හා වාණිජ සම්බන්ධතාවලට වසර 2,500 කට අධික ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රධානතම නගරයක් වන යාපනය, සුවිශාල ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමකින් යුත් නගරයකි. එම ප්‍රදේශයේ පවතින සම්ප්‍රදායන්, උත්සව සහ ඓතිහාසික ස්මාරක ආදිය මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ උරුමය මැනැවින් නිරූපණය වේ. එමෙන්ම එය එම ජනතාවගේ විවිධත්වය මෙන්ම අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මැනැවින් පිළිබිඹු කරන නගරයකි. යාපනය ප්‍රදේශය වෙත පැමිණෙන සංචාරකයන්ට, යටත් විජිත ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් වන යාපනය කොටුව සහ සුවිශාල ආගමික හා සංස්කෘතික වැදගත්කමක් සහිත හින්දු කෝවිලක් වන නල්ලූර් කන්දසාමි කෝවිල ඇතුළු ස්ථාන රැසක් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම සංස්කෘතික උරුමයන් මෙන්ම මෙම ජනතාවගේ ආහාරපාන සම්ප්‍රදාය වැනි විවිධාකාර වූ සංස්කෘතික සාධක නිසා, ජන සමාජයක විවිධත්වය හා විචිත්‍රත්වය සියැසින් දැකබලා ගැනීමට කැමති සංචාරකයන් පැමිණිය යුතුම නගරයක් බවට යාපනය නගරය පත් වී ඇත.

IndiGo  නිල වෙබ් අඩවිය වන www.goIndiGo.in වෙත පිවිසීමෙන් හෝ IndiGo ජංගම යෙදුම (Mobile app) භාවිතා කිරීම මගින් IndiGo ගුවන් සේවයේ ගුවන් ටිකට්පත් වෙන්කරවා ගත හැකි වේ. චෙන්නායි සහ යාපනය අතර IndiGo ගුවන් ගමන් කාල සටහන පහත දක්වා ඇත.

නියාමන ආයතනවල අනුමැතිය ලැබෙන ආකාරය අනුව ගුවන් ගමන් කාලසටහන වෙනස් වීමට ඉඩ ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments