asd
Thursday, October 17, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsSDB බැංකුව සහ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත්...

SDB බැංකුව සහ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් නව්‍ය වැසටහනක් අරඹයි..

සමූපකාර ව්‍යාපාරය හරහා ග්‍රාමීය සංවර්ධනය අත්පත් කරගැනීම ඉලක්ක කරගෙන මධ්‍යම පළාතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ නව උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹීමට SDB බැංකුව මෑතකදී කටයුතු කළේය. ඒ හරහා සමූපකාර වටිනාකම් දාම සහ සැපයුම් දාම සංවර්ධනය මෙන්ම සාම්ප්‍රදායික කෘෂිකාර්මික පිළිවෙත් සහ නවීන තාක්ෂණය මුසු කිරීම හරහා දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළවලට ගැළපෙන නවීන ආහාර නිෂ්පාදන ගෘහාශ්‍රිත කර්මාන්ත හරහා නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ SDB බැංකුව විසින් මධ්‍යම පළාතේ සමූපකාර සමිති වෙත මූල්‍යමය සහය මෙන්ම ව්‍යවසායික සංවර්ධනය, මූල්‍ය උපදේශනය සහ අනෙකුත් පුහුණු සහ සංවර්ධන සහය ලබා දීමට කටයුතු කරනු ඇත. එමෙන්ම මෙම වැඩසටහන් නිරන්තරයෙන් සමීක්ෂණයට ලක් කරමින්, තිරසාරත්වය සහ ප්‍රථිඵල ඇගයීමටද SDB බැංකුව කටයුතු කරනු ඇත.

මෙම සහයෝගීතාවයට අදාළව අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවේදී පළාතේ සමූපකාර සමිති 12 ක් විසින් ගෘහාශ්‍රිතව නිෂ්පාදනය කරන ලද සබන්, කොස් බිස්කට්, කොස් පිටි, කොස් ඇට පිටි, හීන්බෝවිටියා පවුඩර්, කිතුල් පිටි, කිතුල් පැණි, කිතුල් හකුරු, සෝයා මිශ්‍රිත වේලන ලද බිම් මල් සහ තක්කාලි, වියළන ලද එළවලු පැකට් වැනි නව නිෂ්පාදන රැසක් දියත් කරන ලදී.

මෙම සහයෝගීතාවය යටතේ දියත් වුණු තවත් සුවිශේෂී පියවරක් වශයෙන් ‘හරිත ගම්මාන’ වැඩපිළිවෙල හැඳින්විය හැකි අතර එය සමූපකාර ජාලය හරහා තිරසාර සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහනකි. ඒ යටතේ නානුඔය වැනි සංචාරකයින් බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල තෝරාගත් සමූපකාරසැල් වලට විවෘත මුළුතැන්ගෙය සමඟ අවන්හල් එක් කර එම සමූපකාරසැල් සංචාරකයින් ආකර්ෂණය කරගන්නා ස්ථාන බවට පත් කෙරෙනු ඇත. එම සමූපකාරසැල්වලින් සංචාරකයින් හට නැවුම් ස්වභාවික නිෂ්පාදන මිල දී ගැනීමටත්, තමන්ගේ ආහාර තමන්ම පිළියෙල කර ගන්නා අත්දැකීම ලැබීමටත් අවස්ථාව ලැබෙන අතර එය ඔවුන්ට නවමු අත්දැකීමක් සපයන අතරම එම සමූපකාර සමිතිවල දියුණුවට ලැබෙන අනගි අවස්ථාවක් ද වනු ඇත. එමෙන්ම මෙම සමූපකාර අවන්හල් හරිත ප්‍රතිපත්ති වලට අනුකූලව ජීව වායු තාක්ෂණය වැනි ක්‍රමවේදයන් හරහා නිසි අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීමටත්, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයටත් කටයුතු කිරීම විශේෂත්වයකි.

SDB බැංකුව දේශීය ආර්ථිකය සංවර්ධනය කිරීමෙහි ලා ඉතා වැදගත් අංශයක් වශයෙන් සමූපකාර ව්‍යාපාරය සළකන අතර මේ ආකාරයේ ක්‍රමෝපායික සහයෝගීතාවයන් සහ නව්‍ය වැඩසටහන් හරහා ඉදිරියටත් ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන් සවිබල ගැන්වීම, ව්‍යවසාය සංවර්ධනය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩවම කැපවීමටත්  SDB  බැංකුව අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments