asd
Friday, September 20, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsපීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස සංජීව...

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස සංජීව බණ්ඩාරනායක මහතා පත්කෙරේ ..

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස සංජීව බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. 2024 අගෝස්තු 06 වන දින සිට මෙම පත්වීම වලංගු වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියද හිමි වී ඇත.

වසර 36 කට අධික වෘත්තීය පළපුරුද්දක් හිමි සංජීව බණ්ඩාරනායක මහතා ඒ අතරින් වසර 31 ක්ම සේවය කර ඇත්තේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ය. 2007 වසරේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා පරිපාලන) ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට එක් වූ ඒ මහතා, සමාගමේ මූල්‍ය, භාණ්ඩාගාර, පරිපාලන, මානව සම්පත්, තොරතුරු තාක්ෂණ, ණය සහ අලෙවිකරණ යනාදී අංශවල දියුණුව උදෙසා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළේ ය.

ඒ මහතා සතු නායකත්ව කුසලතා මෙන්ම ක්‍රමෝපායික ව්‍යාපාර ඥානය, අඛණ්ඩව වසර 15 ක් පුරා මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන්ම සිටීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට මහෝපකාරී වී තිබේ.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විවිධ අංශවල දියුණුව වෙනුවෙන් සංජීව බණ්ඩාරනායක මහතා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකර ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය, ඕස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී සංගමය යන ආයතනවල සාමාජිකයෙකු වන ඒ මහතා,  එක්සත් රාජධානියේ කළමනාකාර ගණකාධිකාරී වරලත් ආයතනයේ අවසන් අදියරේ සමාජිකත්ව අපේක්ෂකයෙකි. ඒ මහතා සතු විශේෂඥ දැනුම හා පළපුරුද්ද නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2009, 2013 සහ 2015 යන වසරවලදී මෙරට තුළ විවිධ අර්බුදයන්ට මුහුණ දුන් මූල්‍ය සමාගම් තුනක් එම අර්බුදවලින් මුදවාගෙන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, එම සමාගම්වල වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඒ මහතා පත්කරන ලදි.

සංජීව බණ්ඩාරනායක මහතා මීට පෙර දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ලීසිං සංගමයේ සභාපති ලෙස දෙවරක් කටයුතු කළ ඒ මහතා, වසර 10 කට අධික කාලයක් එම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද විය. ඊට අමතරව ඒ මහතා ‘ද ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන්’ හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වශයෙන් සංජීව බණ්ඩාරනායක මහතා සතු පුළුල් දැනුම හා පළපුරුද්ද, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඉදිරි ගමනට බෙහෙවින් වැදගත් වනු ඇත. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ලෙස ඒ මහතා පත් වීම, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් සමාගම සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කිරීමට බලපාන සාධකයක් වනු නො-අනුමාන ය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යනු මෙරට බලපත්‍රලාභී, බැංකු නොවන මුදල් ආයතනයකි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන මූල්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් එම සමාගම විශාල කීර්තියක් දිනා සිටී. ශක්තිමත් පදනමක්, පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුවක් සහ විශිෂ්ටත්වය උදෙසා නොසැලෙන කැපවීමක් සහිත පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, මේ වනවිට මුදල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියටම පැමිණීමට සමත් වී ඇත. මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලාංකිකයන්ගේ දියුණුවට හා සෞභාග්‍යට උරදෙන විශ්වාසනීය හා ගෞරවණීය මුදල් සේවා සපයන්නෙකු ලෙස සැලකේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments