Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz Newsජෝන් කීල්ස් පදනම ‘ප්‍රජා ශක්ති’ ප්‍රදේශවල පාසල් ඉලක්ක කරගෙන පෝෂණය පිළිබඳව දැනුවත්...

ජෝන් කීල්ස් පදනම ‘ප්‍රජා ශක්ති’ ප්‍රදේශවල පාසල් ඉලක්ක කරගෙන පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි …

ජෝන් කීල්ස් පදනම පසුගියදා ‘Scaling Up Nutrition People’s Forum’ (SUN PF) සමග එක් වී, පෝෂණය සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. ජෝන් කීල්ස් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ක්‍රියාත්මක වන කොළඹ 02 සහ ජාඇල ප්‍රදේශවල තෝරාගත් පාසල් 10 ක් තුළ ක්‍රියාවට නංවා ඇති පාසල් පෝෂණ වැඩසටහනෙහි කොටසක් වශයෙන් මෙය ක්‍රියාවට නංවන ලදි. පාසල් දරුවන්ට පෝෂණයෙහි වැදගත්කම පෙන්වා දීම සහ ගෙවතු වගාව වැනි තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

2024 මාර්තු 05 දින සිට මාර්තු 07 දින දක්වා කොළඹ 02 ප්‍රදේශයේ පාසල් දෙකකදීද, 2024 පෙබරවාරි 16 සිට පෙබරවාරි 27 දක්වා ජාඇල ප්‍රදේශයේ පාසල් පහකදීද මෙම දැනුවත් කිරීමේ සැසි පවත්වන ලදි. ඊට පෙර 2023 දෙසැම්බර් මාසයේදීද කොළඹ 02 ප්‍රදේශයේ පාසල් දෙකකදී මෙබඳු දැනුවත් කිරීම් සිදුකරන ලද අතර, සිසුන් ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළුව 1,211 කට අධික පිරිසක් මෙම වැඩසටහන්වලට සහභාගී වූහ.

ජෝන් කීල්ස් පදනම විසින් ජෝන් කීල්ස් සමූහයේ ව්‍යාපාර සමග එක් වී පාසල් සිසුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලද්දේ එම සමූහයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහනෙහි කොටසක් වශයෙනි. එහිදී නියමු ව්‍යාපෘතියක් යටතේ, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයද සමගින් කොළඹ 12 ඒ. ඊ. ගුණසිංහ විද්‍යාලයෙහි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාවට නංවන ලද අතර, එම ව්‍යාපෘතිය මේ දක්වාම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. 2023 වසරේදී පාසල් පෝෂණ වැඩසටහන දියත් කිරීම සඳහා ජෝන් කීල්ස් පදනම SUN PF සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමට කටයුතු කළේ ය. ඊට පෙරද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයන් මෙන්ම පළාත් හා කලාපීය අධ්‍යාපන බලධාරීන් ඇතුළු විවිධ පාර්ශ්වයන් සමග හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමට ජෝන් කීල්ස් පදනම පියවර ගෙන තිබිණි. මෙම වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ සැසියක් 2023 ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද අතර ඊට අධ්‍යාපන අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, පාසල්වල විදුහල්පතිවරුන්, සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, World Vision Lanka සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන යන සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

“මේ දැනුවත් කිරීමේ වැඩසටහනේදී අප සමබල ආහාර වේලක් යනු කුමක්ද යන්න පිළිබඳව වැදගත් කරුණු රැසක් ඉගෙනගත්තා. ඒ වගේම ආහාරවල ලුණු ප්‍රමාණය අඩු කිරීම, කොළ පැහැති එළවලු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම, සහ ක්ෂණික ආහාර හා සෝඩා බීම ආදියෙන් වැළකීම වැනි දේවල වැදගත්කම ඔවුන් අපට කියා දුන්නා. ගෙදර ගිය විගසම අම්මාටත් මේ කරුණු කියාදෙන්නට මා ආසාවෙන් ඉන්නවා.” වැඩසටහනට සහභාගී වූ කොළඹ 02 ටී. බී. ජයා සහිරා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ශිෂ්‍යාවක පැවසුවා ය.

ඉදිරියේදී ප්‍රමාණවත් ඉඩපහසුකම් ඇති පාසල්වල ගෙවතු වගා වැඩසටහන් ආරම්භ කිරීමටද මේ වනවිට සැලසුම් කර තිබේ. ගෙවතු වගා ආරම්භ කිරීම සහ මූලික වගා කටයුතු සඳහා ජෝන් කීල්ස් පදනම සහ SUN PF සහයෝගය ලබාදෙනු ඇති අතර,  එම ගෙවතු වගාවන් පවත්වාගෙන යාම අදාළ පාසල්වල සිසුන්, දෙමාපියන් සහ පාසල් බලධාරීන් විසින් සිදුකරනු ඇත. මෙම ගෙවතු වගාවන්හි අස්වැන්න පාසල්වල ආහාර පිළියෙල කිරීම සඳහා යොදාගැනේ.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සහ එක්සත් ජාතීන්ගේ 2023 න්‍යාය පත්‍රයට සමගාමීව, නිරෝගී බව හා යහපැවැත්ම තහවුරු කිරීම, අන්තර්කරණය ඔස්සේ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සහ ඵලදායී හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීම යන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන ආකාරයට මෙම වැඩසටහන් මාලාව සැලසුම් කර තිබේ.

සෞඛ්‍යය යනු, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ හයෙන් එකකි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments