Tuesday, June 6, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්මනුසත්කමෙන් පොහොසත් සම්පත් බැංකුවෙන් ‘වැවට ජීවයක් ’....

මනුසත්කමෙන් පොහොසත් සම්පත් බැංකුවෙන් ‘වැවට ජීවයක් ’….

නාගොල්ලාගම, රත්මලේ මහ වැවත් ජීවය ලැබීමට සැරසෙයි

වසර ගණනාවක් පුරා මෙරට සුවහසක් ගොවි ජනතාවගේ හෙට දවස අරුත් ගන්වනු වස් හෙල වාරි කර්මාන්තය යළි නගා සිටුවීම වෙනුවෙන් අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ සුවිසල් කාර්යභාරයක නියැලෙන සම්පත් බැංකුව එහි තවත් පියවරක් පසුගියදා මහව, නාගොල්ලාගමදී සනිටුහන් කරන ලදී. ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනේ 16 වන පියවර ලෙස නාගොල්ලාගම, රත්මලේ මහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමිනි.

මෙරට ගොවි පවුල් රැසක නිජභූමියක් වූ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහව, නාගොල්ලාගම, රත්මලේ ගම් පියස නිරන්තරයෙන් ගොවි ජනතාවගේ දහදියෙන් සුවඳවත් වන්නේ දැයේ කුසගිනි නිවාලීම වෙනුවෙනි. වී ගොවි තැනෙන් සිය ජීවිකාව සරිකර ගන්නා රත්මලේ ජනතාවගේ දියුණුවේ මුදුන්මල්කඩ වන්නේ අන් කිසිවක් නොව රත්මලේ මහ වැවයි. ඒ වී ගොවිතැනට අවැසි දියවර සැපයීම පමණක් නොව ගම් වැසියන්ගේ බොහෝ ජීවනෝපායන් සඳහා රත්මලේ මහ වැවෙන් ඉටුවන අපරිමිත මෙහෙය නිසාවෙනි.

රත්මලේ මහ වැව කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින්නේ ගොවි ජනතාවගේ පමණක් නොව ඒ ආශ්‍රිතව ජීවනෝපාය සපයා ගන්නා සියලු දෙනාගේ ජීවිතයන්ටද අවාසනාවන්ත කල දවසක් උදා කරමිනි. වැවෙහි සාරවත් බව ජන ජීවිතයටද සාරවත් බවක් එක් කරන බව මනාව වටහාගත් සම්පත් බැංකුව මෙරට ගොවි ජනතාවගේ හෙට දවස වෙනුවෙන් අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ‘වැවට ජීවයක්’  සමාජ සත්කාරක වැඩසටහන යටතේ රත්මලේ මහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම භාර ගත්තේ ඒ අනුවය.

අක්කර 35ක් පුරා විහිදුණු රත්මලේ මහ වැව අද වන විට නිසි පරිදි ජලය රඳවා ගැනීමට නොහැකි වී ඇත්තේ කාලයත් සමඟ නිසි ප්‍රතිසංස්කරණයන්ට ලක් නොවීම හේතුවෙනි. වැවෙහි ජලය රැඳෙන ප්‍රදේශය සීමා වීම හේතුවෙන් අවශ්‍ය තරම් ජලය සිය ගොවි බිම් වෙත ගෙන යාමට අපොහොසත් වූ කුඹුරු අක්කර 63ක් අස්වැද්දූ ගොවි ජනතාවට වසරකට එක් කන්නයක් පමණක් ගොවි තැන් කිරීමට සිදු විය. මේ හේතුවෙන් පවතින ආර්ථික තත්වය තුළ ගොවි ජනතාවට ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ නිසාම වැවෙහි ප්‍රතිංස්කරණයේ අවශ්‍යතාව පිළිබඳව රත්මලේ පැරකුම් ගොවි සංවිධානය විසින් සම්පත් බැංකුවට දන්වා සිටින ලදී. ගොවි සංවිධානය විසින් සම්පත් බැංකුවෙන් සිදු කළ ඉල්ලීමට අනුව මෙම රත්මලේ මහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්පත් බැංකුව මඟින් ආරම්භ කළ අතර ඒ මඟින් වැවේ ජලජ ශාක ඉවත් කිරීම, වැව ගැඹුරු කිරීම, බැම්ම පිළිසකර කිරීම මෙන්ම ඇල වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණයද සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා “දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ දිවයින පුරා වැව් රැසක් ප්‍රතිසංස්කරණය කරමින් මෙරට ගොවි ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට දායකත්වය දැක්වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. එහි තවත් සුවිශේෂී පියවරක් ලෙස රත්මලේ මහ වැව ප්‍රතිසංස්කරණය කිරීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන් රත්මලේ පැරකුම් ගොවි සංවිධානයේ ඉල්ලීමට අනුව වැවෙහි රඳවා ගත හැකි ජල ධාරිතා ප්‍රමාණය ඉහළ නැංවීම මෙන්ම ජලය නිසි පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා ඇලවේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී සිදු වනවා. වැව ප්‍රතිසංස්කරණය තුළින් වසරේ ප්‍රධාන කන්න දෙකම කුඹුරු ගොවි තැන් කර ගැනීමේ අවස්ථාව ගොවි ජනතාවට උදා වන අතරම එය ඔවුන්ගේ ආර්ථික දියුණුවට සුවිසල් බලපෑමක් ඇති කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ඉදිරියේදී තව දුරටත් ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ගොවි ජනතාව වෙත අවශ්‍ය පහසුකම් සලසා දෙමින් රටේ ආර්ථික දියුණුව හා කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සම්පත් බැංකුව ලෙස අපි බලාපොරොත්තු වෙනවා.”  යනුවෙන් සඳහන් කරන ලදී.

සම්පත් බැංකුව විසින් මීට වසර 20කට පමණ පෙර ආරම්භ කරනු ලැබූ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතියෙහි අරමුණ වූයේ අභාවයට යමින් පවතින සාම්ප්‍රදායික වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කරමින් රටට බත සපයන වියළි කලාපයේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීමට අවැසි කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් දායක වීමයි. විශේෂයෙන් යල හා මහ යන දෙකන්නයම අස්වැද්දීමට අවශ්‍ය දියවර සැපයීම වෙනුවෙන් වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන අතරම ග්‍රාමීය ආර්ථික දියුණුව ඉහළ නැංවීමටද හැකියාව උදා වේ. එසේම පාරිසරික වශයෙන්ද පරිපූර්ණ වැවක වැදගත්කම මෙහිදී අවධානයට ලක්ව ඇත. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් හා සමපාත වන මෙම වැඩසටහන තුළින් කෘෂි කර්මාන්තය පමණක්  නොව වෙනත් විවිධ ජීවනෝපායන් වෙතද ධනාත්මක බලපෑමක් එල්ල වේ.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100% ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments