Monday, December 23, 2024
HomeBiz Newsප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් 2024 වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට්...

ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් 2024 වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරඟාවලියේ ජය කොළඹ දකුණ කණ්ඩායමට..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) මෙහෙයවීමෙන් සහ ප්‍රීමා අනුග්‍රාහක දායකත්වයෙන් පැවැති ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් 2024 වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරඟාවලියේ කැපීපෙනුන දස්කම් දැක්වූ කොළඹ දකුණ කණ්ඩායම, 2024 දෙසැම්බර් 06 වැනිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරඟයේදී මහනුවර කණ්ඩායම පරදවා විශිෂ්ට ජයක් වාර්තා කළේය. දිවයිනේ නන් දෙසින් පැමිණි නව යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු අති විශාල ජනකායක් මධ්‍යයේ පැවැති අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනූ කොළඹ දකුණ පිළ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණහ. ඕවර 49 ක් තුළදී කඩුළු 9කට ලකුණු 214 ක් රැස්කර ගත්හ. ලකුණු 214 ක ඉලක්කයක් හඹා යමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායම ඕවර 25.5 කදී ලකුණු 65 කට සීමා කරමින් සියළුම කඩුළු දවාගැනීමට කොළඹ උතුර කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය.

ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් 2024 වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරඟාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අදහස් දක්වමින් “මෙම තරඟාවලිය දිවයින පුරා විසිරී සිටින දක්ෂ නව යොවුන් ක්‍රීඩකයන්ට තමන්ගේ දස්කම් දක්වමින් අනාගතයේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම දක්වා ඉදිරියට එන්නට ලැබෙන ඉතාමත් අනගි අවස්ථාවක්. මෙම තරඟාවලිය සංවිධානය කිරීමට සහයෝගය ලබාදුන් ප්‍රීමා සමාගමට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” යැයි පැවසීය.

ඕවර 50 තරගාවලියක් ලෙස 2024 නොවැම්බර් මස 21 වැනිදා ආරම්භ වූ දිස්ත්‍රික් මට්ටමේ තරඟ රැසක් අවසානයේ තෝරාගත් දක්ෂ ක්‍රීඩකයන් ඇතුලත්වන පරිදි කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර නාමයන්ගෙන් නිර්මාණය කරන ලද කණ්ඩායම් 5 ක් ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් 2024 තරඟාවලියට සහභාගී වූහ.

ප්‍රීමා අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දැක්වූ ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සමූහ සාමාන්‍යාධිකාරී ඇන්ඩි වීරවන් මහතා “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරඟාවලිය අපේ රටේ සැඟවුණ දක්ෂ ක්‍රිකට් තරු ජාතික තලයට හඳුන්වාදෙන්නට විශාල මෙහෙවරක් ඉටුකොට තිබෙනවා. එම ජාතික මෙහෙවරට දායකවන්නට වසර ගණනාවක් තිස්සේ ප්‍රීමා සමූහයට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෘතඥ වෙනවා.” යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂර්‍ණය ආහාර සන්නාමයක් වන ප්‍රීමා 2007 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සමග අත්වැල් බැඳගනිමින් වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරඟාවලිය හරහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන් රැසක් ජාතික තලයට හඳුන්වාදීමෙහිලා පුරෝගාමීව ඇත. දිවයින පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයන් මුල් අවධියේදීම හඳුනාගෙන ක්‍රමවත් පුහුණුවක් තුලින් ජාතික ක්‍රිකට් කණ්ඩායම දක්වා රැගෙන ඒම අරමුණු කරගනිමින් මෙවරත් වයස අවුරුදු 15 න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් 2024 තරඟාවලිය පැවැත්විණ. 

ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රී‍ස් සමාගමේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින් “ගමේ නගරයේ ක්‍රිකට් ශූරයන් ජාතික තලයට ඔසවා තබා එතැනින් ජාත්‍යන්තරය ජයගැනීමට අඩිතාලම සකස්කොට දෙන ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් 2024 ක්‍රිකට් තරඟාවලිය අපේ රටේ නව යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වටිනා අවස්ථාවක්. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම තරඟාවලියේ කොටස්කරුවන් බවට පත්වන්නට ලැබීම අපට හිමිව තිබෙන සුවිශාල ගෞරවයක්.” යැයි පැවසීය.

කොළඹ දකුණ කණ්ඩායමේ රෙෂාන් සොලමන්ස් තරුණ ක්‍රීඩකයා 4 පහර 11 ක් සමග දර්ශර්‍ණය ඉනිමක් ක්‍රීඩා කරමින්, පන්දු 99 කට ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය. අවසන් මහා තරඟයේ වාර්තා වූ එකම අර්ධ ශතකයට හිමිකම් කියන්නට රෙෂාන් සොලමන්ස් සමත් වූයේ තරඟාවලියේ හොඳම පිතිකරු කුසලානයද හිමිකරගනිමිනි. රෙෂාන් සොලමන්ස් සහ මහිරු කොඩිතුවක්කු අතර ගොඩනැගුණු ලකුණු 51 ක ශක්තිමත් සබඳතාවය කොළඹ දකුණ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

අවසන් මහා තරඟයේදී කොළඹ දකුණ කණ්ඩායමේ චනිතු කංකානම්ගේ ලකුණු 22 කට කඩුළු 5ක් ලබාගනිමින් තරඟයේ හොඳම පන්දු යවන්නාට හිමි කුසලානය හිමිකරගත් අතර එම කණ්ඩායමේම දුෂේන් උඩවෙල තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස කුසලානය හිමිකරගත්තේය. තරග 4 කදී කඩුළු 13 ක් ලබාගත් දඹුල්ල කණ්ඩායමේ යුමාල් එගොඩගේ තරඟාවලියේ හොඳම පන්දු යවන්නාට හිමි කුසලානය හිමිකරගත්තේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments