Monday, April 29, 2024
spot_imgspot_img
HomeBiz Newsවර්ල්ඞ් විෂන් ලංකා - කොකා-කෝලා සමඟින් එක්ව ප්ලාස්ටික් එකතු කරන  කාන්තාවන් අගයයි..

වර්ල්ඞ් විෂන් ලංකා – කොකා-කෝලා සමඟින් එක්ව ප්ලාස්ටික් එකතු කරන  කාන්තාවන් අගයයි..

කොකා-කෝලා පදනම (TCCF), වර්ල්ඞ් විෂන් ලංකා සමඟ එක් වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ නියුතු කාන්තාවන් ඇගයීමට ලක් කරන ලදී. මෙහිදී එක්සත් ජාතීන්ගේ මෙම වසරේ ලෝක කාන්තා දින තේමාව ඒ අයුරින්ම ක‍්‍රියාවට නංවමින් ප්ලාස්ටික් කළමනාකරණය තුළ කසල කළමනාකරණය, එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් ප‍්‍රදර්ශනය කළ කාන්තාවන් 25 දෙනෙකු වෙත ත්‍යාග ලබා දෙමින් උපහාර දැක්වීමට කොකා කෝලා පදනම කටයුතු කරන ලදී. මෙම අවස්ථාවට පාරිසරික, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාද එක් විය.

වර්ල්ඞ් විෂන් ලංකාහි ‘විධිමත් ප්ලාස්ටික් ප‍්‍රතිිචක‍්‍රීයකරණය තුළින් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වන වැඩසටහන (ASPIRE) සඳහා අරමුදල් සපයන කොකා කෝලා සමාගම එම වැඩසටහන සඳහා දායකත්වය දක්වන අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට මෙන්ම PET ප්ලාස්ටික් එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය ඉහළ නැංවීමට අරමුණු කොට ගෙන ඇත. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් ජීවනෝපාය සංවර්ධනය වැඩි දියුණු කිරීම, PET ප්ලාස්ටික් එකතු කිරීම සඳහා වැඩි පිරිසක් සහභාගී කරවා ගැනීම හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක‍්‍රියාවලීන් හා භාවිතයන් පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම කිරීම සඳහා වන සැලසුමක් සහිත මෙම වැඩසටහන තුළින් මේ වන විට සුළු පරිමාණ ආකාරයෙන් ප්ලාස්ටික් එකතු කරන්නන් 65 දෙනෙකු සහ මහා පරිමාණ එකතු කරන්නන් 15 දෙනෙකු පුහුණු කරමින් සවිබල ගැන්වීමට කටයුතු කර ඇත. ඒ සඳහා සම්බන්ධ වූ පිරිසගෙන් 38%ක ට වැඩි ප‍්‍රමාණයක් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සමඟ සහයෝගයෙන් යුතුව ජාතික වෘත්තීය සුදුසුකම්හි 4 වැනි සහතිකය හිමිකර ගනිමින් ප‍්‍රතිචක‍්‍රීයකරණ කර්මාන්ත සහකාරවරියන් බවට පත්වීම සඳහා සුදුසුකම්ලත් පුහුණු සහ කුසලතාවන්ගෙන් පරිපූර්ණ කාන්තාවන් වීම විශේෂත්වයකි.

එම කාන්තාවන් අතුරින් ජා ඇල, වත්තල, ගම්පහ, කළුතර යන ප‍්‍රදේශවල සාත්තු සේවිකාවන්, ගෘහණියන් ඇතුළු විවිධ වෘත්තීය පසුබිම්වලින් පැමිණි කාන්තා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකරන්නියන් 25ක් හඳුනාගනිමින් ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට, අදහස් ලබා ගැනීමට මෙන්ම ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව මේ තුළින් උදාකර දෙනු ලැබීය. එසේම මෙහිදී ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමටද මෙහිදී කොකා කෝලා සමාගම කටයුතු කළේය.

මෙම වැඩසටහන සම්බන්ධයේ සිය අදහස් එක් කළ ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ‘‘වැඩසටහන මඟින් ඉටු කරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව මගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට කැමතියි. විශේෂයෙන් කාන්තා ප්ලාස්ටික් අප ද්‍රව්‍ය එකතු කරන්නියන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ව සවිබල ගැනීමට කටයුතු කරන මෙම වැඩසටහන මහජනතාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හේතු වනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතියේ ශක්තියෙන් සිය විශිෂ්ටත්වය ප‍්‍රදර්ශනය කළ කාන්තාවන් වෙත සුබ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කොට ගන්නවා. මම නිරන්තරයෙන් ඔබට සහයෝගය දැක්වීම හා සවිබල ගැන්වීම වෙනුවෙන් කැපවී කටයුතු කරන අතර රටට තිරසාර අනාගතයක් උරුම කර දීමටද කටයුතු කරනවා. ඒ වගේම පාරිසරික වගකීම් වෙනුවෙන් ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරමින් සමාජයේ උන්නතිය වෙනුවෙන් කාන්තාවගේ සුවිසල් කාර්යභාරය හඳුනාගෙන ඔවුන් නගා සිටුවීමටද  කටයුතු කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කොකා-කෝලා පදනම (TCCF) හි සභාපති Saadia Madsbjerg සඳහන් කර සිටියේ ‘‘කාන්තා දිනය නිමිති කරගනිමින් අද දවසේ තිරසාර අනාගතයක් රටට උදා කර දීමේ පාරිසරික සංරක්ෂණ කාර්යභාරයක නිරත සුවිශේෂී ශ‍්‍රී ලාංකේය කාන්තාවන් 25 දෙනෙකු ඇගයීමට ලක් කිරීමට කොකා-කෝලා පදනම කටයුතු කළා. තිරසාර අනාගතයක් වෙනුවෙන් ඔවුන්ගේ කැපවීමට අපගේ ගෞරවය පුද කරන අතරම ඒ තුළින් තිරසාර අනාගතයක් වෙනුවෙන් වන අපගේ කැපවීමද ප‍්‍රදර්ශනය වනවා. ඒ වගේම බොහෝ ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවිත නගා සිටුවීමට සවියක් වූ ASPIRE ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී වර්ල්ඞ් විෂන් ශ‍්‍රී ලංකා ආයතනයේ කාර්යභාරය පිළිබඳවද අපගේ ස්තුතිය පුද කර සිටිනවා.’’යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ Madsbjerg මහත්මිය ASPIRE ව්‍යාපෘතිය තුළින් ප්ලාස්ටික් එකතුකරන්නන්ගේ පිළිගැනීම හා අභිමානය ඉහළ නැංවීමට අරමුණු කොට ගෙන ඇති බවයි. ඔවුන් වෙත සෞඛ්‍ය පරීක්ෂණ පහසුකම් ලබා දෙමින් ඉතුරුම් සහ මූල්‍ය ස්ථාවරත්වය ඉහළ නැංවීමටද එම ව්‍යාපෘතිය කටයුතු කර ඇත. එසේම එහි ව්‍යාපාර කළමනාකරණ පුහුණුව තුළින් ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දී ඇති අතර Journey of Transformation (JOT) වැඩසටහන හරහා තෝරාගත් පවුල් වෙනුවෙන් තිරසාරබවක් නිර්මාණය කිරීමද සමත් විය. තවද PET ප්ලාස්ටික් එකතු කිරීම සඳහා ජම්බෝ බෑග් සහ තරාදි වැනි අත්‍යාවශ්‍ය උපකරණ ලබා දීමටද එම වැඩසටහන යටතේ කටයුතු කර ඇති අතර ඔවුන්ට වැඩි වශයෙන් PET ප්ලාස්ටික් එකතු කිරීමේ අවස්ථාව සලසා දෙමින් තෙරපුම් යන්ත‍්‍ර හා කැබලි කිරීමේ යන්ත‍්‍ර, ප්ලාස්ටික් කුඩුකරනක යන්ත‍්‍ර හා ගබඩා පහසුකම් ලබා දීමටද කටයුතු කර තිබීම විශේෂත්වයකි. විධිමත් ලියාපදිංචි සැලසුම්, හැඳුනුම්පත් නිකුත් කිරීම හා පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) වැනි කටයුතුද ඊට ඇතුළත් විය. තවද වැඩි ප‍්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පොදු ස්ථානවල ප්ලාස්ටික් දැමීමට සහ එකතු කිරීමට පිහිටුවා ඇති ස්ථාන ද මෙහි තවත් වැදගත් සේවාවක් ලෙස සඳහන් කළ හැකිය.

වර්ල්ඞ් විෂන් ලංකාහි PET ප්ලාස්ටික් අධීක්ෂක, ඇගයීම්, වගවීම් සහ ඉගෙනුම්  (MEAL) සම්බන්ධීකාරිණී නටාෂා ප‍්‍රනාන්දු පැවසුවේ ‘‘අපගේ මෙහෙයුම්වල ප‍්‍රමුඛතම සාධකය වන්නේ ජනතාවයි. ඒ ජනතාව අතුරින් අපද්‍රව්‍ය වෙන් කිරීම, PET ප්ලාස්ටික් වගකීමෙන් යුතුව බැහැර කිරීම, කසල එකතු කිරීමේ යටිතල පහසුකම් වර්ධනය කිරීම හා සම්පත් මෙන්ම ප්ලාස්ටික් එකතු කරන්නන් සවිබල ගැන්වීමට ASPIRE ව්‍යාපෘතිය තුළින්  අපි කැපවී කටයුතු කරනවා.’’ යනුවෙනි.

මෙම උත්සවයේදී ඇගයීමට ලක් වූ ජා ඇල, දෙහියාගත කාන්තා ප්ලාස්ටික් එකතු කරන්නියක් වූ රත්නා කාන්ති ද සිල්වා මහත්මිය පැවසුවේ ‘‘ASPIRE ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභිනියක් ලෙස අද දවසේ ඔවුන්ගේ වැඩසටහනට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. මා ගෙයින් ගෙට ගොස් ප්ලාස්ටික් අප ද්‍රව්‍ය එකතු කිරීමේ වෘත්තීයේ නියැලී සිටින කෙනෙක්. ගමේ අය දන්නේ අපද්‍රව්‍ය එකතු කරන්නියක් ලෙසයි. ASPIRE ව්‍යාපෘතියට සම්බන්ධ වීමෙන් ප‍්‍රතිචක‍්‍රීයකරණ කර්මාන්තයේ 4 වැනි මට්ටමේ පාඨමාලාවට ඇතුළුවීමට මට හැකියාව උදා වුණා. දැන් මට අභිමානයෙන් යුතුව ජනතාව ඉදිරියට යා හැකියි. අපද්‍රව්‍ය කියන්නේ සැබැවින්ම සම්පතක්’’යනුවෙන් පැවසුවාය.

වර්ල්ඞ් විෂන් ලංකා සහ කොකා කෝලා පදනම ශක්තියක් අවැසි ජනතාව වෙනුවෙන් සහයොේගය ලබා දෙමින් ඔවුන් අතර ජනාදරයට පත්ව ඇත්තේ අපද්‍රව්‍ය බැංකුව වැනි නව්‍ය සංකල්පයන් දියත් කරමිනි. ඒ තුළින් පාරිසරික තිරසාරභාවය හා අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ඔවුන් සිදු කරන කැපවීම මනාව පිළිබිඹු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments