Sunday, April 28, 2024
spot_imgspot_img
HomeBiz Newsමෙරට කෘෂිකර්මාන්තය නංවාලීමට කැපවුණු සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම ..

මෙරට කෘෂිකර්මාන්තය නංවාලීමට කැපවුණු සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම ..

සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF) යනු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින මූල්‍ය සමාගමකි. එම කර්මාන්තයට අවශ්‍ය සහය ලබාදෙමින්, එහි සංවර්ධනය හා තිරසාරත්වය සහතික කිරීම සඳහා සමාගම දීර්ඝ කාලයක පටන් කටයුතු කරමින් සිටී.

මේ වනවිට සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම මෙරට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දී ඇති මූල්‍ය පහසුකම්වල මුළු වටිනාකම රු. බිලියන 4 ඉක්මවා ඇත. මේ අතරින් අඩකට වැඩි ප්‍රමාණයක් නියමිත කාලයටද පෙර ගෙවා අවසන් කිරීමට එම ගොවි ප්‍රජාව කටයුතු කර තිබේ. මෙය ඔවුන් සහ සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසයට මනා සාක්ෂියකි.

එමෙන්ම Diesel & Motor Engineering Plc (DIMO), Hayleys Agriculture Holdings Limited, සහ Brown & Company Plc වැනි සමාගම් සමග අත්වැල් බැඳගෙන අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර සහ කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල ගොවීන්ට නවීන යන්ත්‍රෝපකරණ සහනදායී ක්‍රම යටතේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමටද සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම පියවර ගෙන තිබේ. මෙය කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දීමට මෙන්ම ශ්‍රමිකයන්ගේ හිඟය හේතුවෙන් ඇතිවන බලපෑම් අවම කරගැනීමට මහෝපකාරී වී ඇති අතර, එමගින් කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇත.

මූල්‍ය සහය ලබාදීමෙන් ඔබ්බට ගොස් තිරසාර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් පෙරමුණ ගැනීම

Araliya Agro Holdings (Pvt) Ltd සහ Araliya Seeds (Pvt) Ltd. යන සමාගම් සමග අත්වැල් බැඳගනිමින්, මෙරට ගොවීන්ට ඉහළම ප්‍රමිතියකින් යුත් බිත්තර වී සැපයුමක් සහතික කිරීමට සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම පියවර ගෙන ඇති අතර, නවීන ක්‍රමවේදයන් ඔස්සේ පොහොර මගින් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ. මෙම දැනුම බෙදාදීම සඳහා SDF සමාගමේ කෘෂි ආර්ථික විශේෂඥයන්, උපදේශකවරු සහ ආදර්ශ ගොවීහු කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරති. පුනර්ජනනීය කෘෂිකාර්මික ක්‍රමවේදයන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ඉඩම් සහ පස රැකගත යුතු ආකාරය සම්බන්ධයෙන් ගොවීන්ට මගපෙන්වනු ලබන්නේ ඔවුන් විසිනි.

සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පවසන්නේ, ගොවීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින සම්ප්‍රදායික ආකල්පය වන ‘දිළිඳු ගොවීන්’ යන්න වෙනුවෙන් ‘ධනවත් ගොවීන්’ යන්න භාවිතා කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි. මේ සඳහා ගොවීන්ට අවශ්‍ය මූල්‍ය හා වෙනත් සහයෝගයන් ලබාදෙමින්, කෘෂිකර්මාන්තයේ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමට සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම කැප වී සිටී.

මේ ආකාරයට කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වයේ යුගයක් උදාකර ගැනීම සඳහා දිගින් දිගටම මෙරට ගොවීන් සමග එක්ව කටයුතු කිරීම සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගමේ බලාපොරොත්තුව වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments