Friday, May 17, 2024
spot_imgspot_img
HomeBiz News2024 ලෝක මිහිතල දිනයේදී තිරසාරත්වය වෙනුවෙන් කැපවූ විරුවන්ට උපහාර පුද කරයි ..

2024 ලෝක මිහිතල දිනයේදී තිරසාරත්වය වෙනුවෙන් කැපවූ විරුවන්ට උපහාර පුද කරයි ..

අප්‍රේල් 22 වන දිනට යෙදුණු ලෝක මිහිතල දිනය සමරනු ලැබුවේ අපමණ අභියෝගයන් මධ්‍යයේ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සාර්ථක ඉදිරි පියවරක් තබන අවධියකදීය. Coca-Cola පදනමෙහි මූල්‍ය ශක්තියෙන් වර්ල්ඩ් විෂන් ලංකා විසින් මෙහෙයවනු ලබන ASPIRE වැඩසටහන එම සාර්ථකත්වයේ  ඉදිරියෙන්ම සිටින බව නොරහසකි. හුදෙක් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමෙන් ඔබ්බට ගිය එම වැඩසටහන නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉලක්ක කරගත් පරිපූර්ණ උපාය මාර්ගයක් ලෙසද සඳහන් කළ හැකිය. ප්ලාස්ටික් එකතු කිරීම ඉහළ නැංවීම, ප්‍රතිචක්‍රීකරණ කිරීමේ හැකියාවන් පුළුල් කිරීම, PET ප්ලාස්ටික් වගකිවයුතු ආකාරයෙන් බැහැර කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් කැපවන පුද්ගලයන් දිරි ගැන්වීම මෙම ASPIRE වැඩසටහන තුළින් සිදු වේ.

2024 ලෝක මිහිකත දිනය වෙනුවෙන් වැඩසටහන සමඟ එක්ව තිරසාර පරිසරයක් වෙනුවෙන් කැප වූ ලසන්ත දීපාල්, ගයාන් සමීර, චමිලා සුරංගි පෙරේරා සහ මංජුලා රාමලිංගම් වැනි පාරිසරික විරුවන් සිහිපත් කළ යුත්තේ විශිෂ්ටත්වය, අධිෂ්ඨානය හා සවිබල ගැන්වීම වෙනුවෙන් ශක්තිමත් ගමන් මඟක් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර ඇති හෙයිනි.

කරදරයක් සුවිසල් අවස්ථාවක් බවට පත් කරගත් ලසන්ත දීපාල්

වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි පියෙකු මෙන්ම සැමියෙකු වූ ලසන්තගේ ගමන අධිෂ්ඨානශීලී, ශක්තිමත් ගමනකි. තමන්ගේ පවුලට අවශ්‍ය පහසුකම් සලසා ගැනීමේ අභියෝගයකට මුහුණ දුන් ඔහු පරිසරයට ආරක්ෂා කිරීමේ කැමැත්තද සමඟින් ජීවනෝපායක් සොයමින් සිටියේය.

විටෙක මූල්‍ය පීඩනයත් සමාජයෙන් එන බලපෑමත් හමුවේ නොසැලුණු ලසන්ත ASPIRE වැඩසටහන හරහා පරිසරය ආරක්ෂා කිරීමේ තම කැමැත්ත ඒ අයුරින්ම ඉටු කර ගනිමින් මූල්‍ය ශක්තිය සලසා ගැනීමටද කටයුතු කරනු ලැබුවේ ASPIRE හි පුහුණු වැඩසටහන් හරහා ලබාගත් දැනුම හා කුසලතාවයන්ගෙන් මැනවින් ප්‍රයෝජන ගනිමිනි. එම වැඩසටහනෙහි මඟ පෙන්වීම යටතේ ව්‍යවසායකයකු ලෙස විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් තම ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමටත්, තම ප්‍රජාව තුළ අවදානමට ලක් විය හැකි පුද්ගලයින් හට රැකියා අවස්ථා නිර්මාණය කර දීමටත් ඔහුට හැකියාව උදා විය.

අදවන විට සාර්ථක ව්‍යාපාරකරණයෙන් ඔබ්බට යමින් පාසල්වලප ඔසු උයන් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති ලසන්ත ඒ තුලින් පාසල් සිසු සිසුවියන්ට අධ්‍යාපනික හා තිරසාර සම්පත් දායාද කිරීමට කටයුතු කර ඇත්තේ සමාජ ඒකාබද්ධතාව වැඩිදියුණු කිරීමට කටයුතු කරමිනි.

ජීවන අරගලය සාර්ථක මඟකට ගෙන ආ ගයාන් සමීර

අද වන විට ව්‍යවසායකයකු ලෙස තමන්ගේ පවුලේ ආර්ථිකය ගොඩනගා ගැනීමට පමණක් නොව තවත් කිහිප දෙනෙකු වෙත රැකියා අවස්ථා උදා කර දීමෙන් එම පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමටද සුවිසල් දායකත්වය දක්වන ගයාන් ගේ ගමන අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයකි.

සිය පවුගේ බර දැරූ ගයාන් කුඩා පරිමාණයෙන් පවත්වාගෙන ආ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ව්‍යාපාරය තව දුරටත් පුළුල් කිරීමේ දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටි අවධියක ඔහුගේ මූල්‍යමය හා  සීමිත සම්පත් ඉහළ නංවමින් ව්‍යාපාරය දියුණු කිරීමේ අවස්ථාව ASPIRE හරහා උදා කර ගැනීමට සමත් විය. ASPIRE හි පුහුණු වැඩසටහන්, තාක්ෂණික සහාය, අවශ්‍ය සම්පත් සපයා ගැනීම වැනි දේ තුළින් ගයාන්ට තම ව්‍යාපාර ඉහළ නංවමින් සිල්ලර වෙළෙන්දන් හා ආයතන සමඟ සමීපව කටයුතු කිරීමේ අවස්ථාව උදා වූ අතර ඒ තුළින් ව්‍යාපාර දියුණුව සාක්ෂාත් කර ගැනීමට ඔහුට අවස්ථාව උදා විය.

කාන්තාවන් සවිබල ගන්වමින් ප්‍රජාවක් පරිවර්තනය කළ චමිලා සුරංගි පෙරේරා

සිය අප්‍රතිහත උත්සාහය තුළින් ජීවිතය ජයගත් දිරිය කාන්තාවක් ලෙස චමිලා සඳහන් කළ හැකිය. ආර්ථික දුෂ්කරතාවයන් හමුවේ මවක්, බිරිඳක් ලෙස පවුලේ කුස ගිනි නිවීම වෙනුවෙන් සුදුසු මඟක් සොයමින් සිටි චමිලාට කාන්තාවක් ලෙස සමාජයෙන් විවිධ බාධාවන් එල්ල විය. එහෙත් ASPIRE හි මඟ පෙන්වීම හා සහයෝගය තුළින් දුෂ්කරතාවයන් ජය ගනිමින් ජය ග්‍රාහී ගමනක් අරඹන්නට ඇයට හැකි විය.

ප්ලාස්ටික් අප ද්‍රව්‍ය එකතු කරන්නියක් ලෙස දිනෙන් දින සාර්ථිකත්වයෙන් ඉදිරියට ගිය ඇය තවත් කාන්තාවන් රැසකට රැකියා අවස්ථාවන් උරුම කර දීමට සමත් විය. එහිදී විශේෂයෙන් අවම වරප්‍රසාද ලත් පවුල්වල කාන්තාවන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට චමිලා කටයුතු කරනු ලැබුවේ එම පවුල්වල ආර්ථිකයට ශක්තියක් වෙමිනි.

දිරියෙන් ජීවිතය ජයගත් මංජුලා රාමලිංගම්

මූල්‍ය දුෂ්කරතා හා පවුලේ වගකීම් සියල්ල දරා ගනිමින් දිරියෙන් නැගී සිටි ව්‍යවසායිකාවක් වන මංජුලා ASPIRE හරහා ඉතා සාර්ථක ව්‍යාවසායිකාවක් බවට පත් වූයේ සිය ජීවිතයේ බලාපෙරොත්තු රැසක්ද ඉටු කර ගනිමිනි. තම දියණිය වෛද්‍යවරියක් කිරීමේ සිහිනය යථාර්තයක් බවට පත් කර ගැනීමේ පළමු පියවර තැබීමට මේ තුළින් ඇයට හැකි වූයේ දියණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම තුළිනි.

මංජුලාගේ අප ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය තුළ රැකියා අවස්ථාවන් නිර්මාණය කර දෙමින් තවත් කාන්තාවන් පිරිසකට සවියක් වන්නට මංජුලා කටයුතු කරන ලදී. තමන් අත්විඳි දුෂ්කරතාවයන් තුළින් ජීවිතය සාර්ථක කරගත් මංජුලා සිය ප්‍රජාවේ අනෙකුත් කාන්තාවන්ටද එම අවස්ථාව උදා කර දීමට කටයුතු කිරීම  ප්‍රජාව වෙනුවෙන් ඇය සතු කැපවීමද ප්‍රදර්ශනය කරන්නකි.

මේ අයුරින් සිය උත්සාහය, කැපවීම හා ASPIRE හි මඟ පෙන්වීම තුළින් සිය ජීවිතය සාර්ථක කරගත් ලසන්ත, ගයාන්, චමිලා, මංජුලා වැනි ව්‍යවසායකයින් ලෝක මිහිතල දිනයේදී වඩාත් ඇගයීමට ලක් කළ යුතු වන්නේ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ඉතා විශිෂ්ට වන හෙයිනි. ඔවුන්ගේ ජීවිත කතාවන් සෑම පුද්ගලයකුටම දිරියක්, ශක්තියක් එක් කරන්නක් වනු ඇති අතර The Coca-Cola Foundation වැනි ලාභ නොලබන ව්‍යාපෘති තුළින් බල ගැන්වෙන World Vision Lanka හි ASPIRE වැඩසටහන ද ඒ ආකාරයෙන් ලෝක මිහිතල දිනයේදී ඉතා වැදගත් වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments