Monday, April 29, 2024
spot_imgspot_img
HomeBiz Newsතිරසාර ජල භාවිතයන් හරහා ප‍්‍රජාව සවිබල ගැන්වීමට එක් වෙමු...

තිරසාර ජල භාවිතයන් හරහා ප‍්‍රජාව සවිබල ගැන්වීමට එක් වෙමු…

ශ‍්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය තුළ හෙල රජ දරුවන් විසින් ඉදිකරනු ලැබූ සුවිසල් වාරි කර්මාන්තයන් වෙනුවෙන් හයිඩ්‍රොලික් තාක්ෂණය වැනි ඉහළම තාක්ෂණික ක‍්‍රමයන් යොදා ගෙන තිබිණ. ඒ ආකාරයෙන් ඉදි වුණ ජලාශ 1000කින්ද කුඩා වැව් 1500කින්ද පොහොසත් මෙරට වාරි කර්මාන්තය වත්මන් අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවනෝපාය හා ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වනු ලබයි. ජලයෙන් කෙතරම් සාරවත් වුවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට (UNDP)  අනුව මෙරට ජනගහනයෙන් තුනෙන් එකක ප‍්‍රමාණයක් ජලය සපයා ගැනීමේදී ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දෙන බව පැවසීම අවාසනාවට කරුණකි. විශේෂයෙන් වියළි කලාපයේ ජනතාව නිරන්තරයෙන් ජල හිඟයට මුහුණ පාන අතර පහසුවෙන් ජලය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් උතුරු ප‍්‍රදේශය තුලද මෙය උග‍්‍ර ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති බව සඳහන් කළ හැකිය.

මේ බව මනාව හඳුනා ගනිමින් ACTED සහ We Effect ඇතුළු ප‍්‍රමුඛ පෙලේ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන Coca-Cola පදනම සමඟ එක්ව වාරි මාර්ග හා පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැඩසටහන් දියත් කිරීමට කටයුතු කළේය. ප‍්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙම රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව සිදු කළ මෙම වැඩසටහන් මොණරාගල, අනුරාධපුරය හා මඩකලපුව යන ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක කළ අතර ඒ තුළින් එම ප‍්‍රදේශවල ජනතාව මෙතෙක් මුහුණ දුන් පානීය ජල ගැටළුවට විසඳුම් ගෙන ඒමට ඔවුන්ට අවස්ථාව උදා විය. ඒ තුලින් ළිං සහ ජලාශවල ජලය බීමට හා අනෙකුත් අවශ්‍යතාවන් සපුරා ගැනීමට සුදුසු ලෙස ජනතාව වෙත ලබා දීම ප‍්‍රදේශයේ සියලූ දෙනාට සුවිසල් අස්වැසිල්ලක් වූ බව නොරහසකි.

මෙම සුවිශේෂී ක‍්‍රියාන්විතය යටතේ තම්මැන්නාව ගම්මානයේ වාරි මාර්ග හා පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩසටහනක් දියත් කිරීමට Coca-Cola පදනමේ අනුග‍්‍රාහකත්වය යටතේ We Effect කටයුතු කරන ලදී. එහිදී වසර සියයකට වඩා පැරණි වාරි කර්මාන්තයන් ප‍්‍රතිසංස්කරණය කිරීමට අමතරව ඒවායෙහි ජල ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම අක්කර 200කට අධික කෙත් බිම් සඳහා අවශ්‍ය දියවර ලබා දීම තුළින් පවුල් 476කට අධික ප‍්‍රමාණයක් වෙත සෙත සැලසීමට හැකියාව උදා විය. ඉන් නොනවතුණු ඔවුන් ග‍්‍රාමීය ගොවි සමූපකාර සමිතිය සමඟ කාන්තාවන් 300කට අධික පිරිසක් එක් කරමින් 100 දෙනෙකු වෙත ව්‍යවසාය පුහුණුව ලබා දීමට කටයුතු කරනු ලැබුවේ ආර්ථික වශයෙන් දියුණු ග‍්‍රාමීය ප‍්‍රජාවක් බිහි කිරීමේ පළමු පියවර තබමිනි. පහසුවෙන් ජලය ලබා ගැනීමට මෙන්ම කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීමටද, ග‍්‍රාමීය කාන්තාවගේ ආර්ථිකය නගා සිටුවීමටද එම වැඩසටහන සුවිසල් දායකත්වයක් දැක්වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මඩකලපුවේ ජලාශ 3ක් ප‍්‍රතිසංස්කරණය කරමින් එහි ප‍්‍රජාවට පහසුවෙන් ජලය සපයා ගැනීමේ අවස්ථාව සලසා දීමට We Effect කටයුතු කරනු ලැබුවේ පවුල් 1000කට අධික ප‍්‍රමාණයක් වෙත පිරිසිදු පානීය ජලය ලබා දීම ස`දහා මූලිකත්වය ගෙන කටයුතු කරමිනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ We Effect Sri Lanka හි මෙරට අධ්‍යක්ෂ මයූරන් තෙවාසිගමනි මහතා සඳහන් කර සිටියේ ‘‘සමූපාකාර ප‍්‍රවේශයක් හරහා කාන්තා නායකත්වයක් නිර්මාණය කරමින් ප‍්‍රාථමික ගොවි එකමුතුව ශක්තිමත් කිරීමට මෙම වැඩසටහන තුළින් කටයුතු කළා. එසේම ගොවි පවුල් 3500කට වැඩි පිරිසක් වෙත කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පහසුවෙන් ජලය සපයා ගැනීමේ අවස්ථාව මේ තුළින් හිමි වූ අතර පවුල් 1000කට අධික පිරිසක් වෙත පිරිසිදු පානීය ජල පහසුකම් සපයා දීමටද අවකාශ උදා වුණා. කාන්තා ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටද මෙම වැඩසටහන තුළින් සුවිසල් දායකත්වයක් ලබා දුන් අතරම තෝරාගත් ප‍්‍රජාවන්හි කසල කළමනාකරණ ක‍්‍රමයන් ඉහළ නැංවීමටද අපට හැකියාව ලැබුණා’’ යනුවෙනි.

සමෘද්ධි වැව් වැඩසටහන වැනි තිරසාර ව්‍යාපෘතීන් හරහා මෙරට කෘෂිකර්මාන්තය මෙන්ම ග‍්‍රාමීය ජීවනෝපාය නගා සිටුවීමට කටයුතු කළ ACTED වාරි පද්ධතීන්හි ජල ධාරිතාව ඉහළ නැංවීම හා වැඩි දියුණු කළ වාරි මාර්ග ක‍්‍රම තුළින් ගොවීන්ගේ ආදායම 16%කින් ඉහළ නැංවීමට සමත් වීමද මෙහිදී මතක් කළ යුතුය. ඒ තුළින් ගොවි පවුල් 400කට වැඩි ප‍්‍රමාණයකට ප‍්‍රතිලාභ හිමි වීමද විශේෂත්වයකි. තවද ජල සම්පත් සංවර්ධන සමිතියේ සාමාජිකත්වය 40%කින් ඉහළ නැංවීමට සමත් වූ මෙම ව්‍යාපෘතිය ශක්තිමත් ප‍්‍රජා සහභාගීත්වයක් ඇති කිරීමටද දායක වූ බව ඒ තුළින් මනාව තහවුරු කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments