Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකසෙලාන් බැංකුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්වී ජෛවමිතික ක්‍රමයට ජීවිත සහතික...

සෙලාන් බැංකුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්වී ජෛවමිතික ක්‍රමයට ජීවිත සහතික නිකුත් කිරීම අරඹයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, ජෛවමිතික සත්‍යාපනය (Biometric Authentication) ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ ය. ජීවිත සහතික යනු විශ්‍රාමිකයන් ජීවත්ව සිටින බව තහවුරු කිරීම සඳහා භාවිතා කරන වැදගත් ලේඛනයකි. නව ක්‍රමය යටතේ යන්ත්‍රයක් මගින් විශ්‍රාමිකයන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන එවෙලේම ජීවිත සහතික නිකුත් කරන අතර, එමගින් මෙය වඩාත් පහසු, සරල හා කාර්යක්ෂම ක්‍රියාවලියක් බවට පත්වී ඇත.

මීට පෙර ජීවිත සහතික ලබාගැනීම සඳහා, වසරේ නිශ්චිත කාල සීමාවකදී ඒ සඳහා වන අයදුම්පත තැපැල් මාර්ගයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එවීමට විශ්‍රාමිකයන්ට සිදුවිය. මින් ඉදිරියට, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නවතම තාක්ෂණික පහසුකම් හා තොරතුරු පද්ධතිය භාවිතා කරමින්, සෙලාන් බැංකුවේ ශාඛා 75කදී ජීවිත සහතික නිකුත් කෙරෙනු ඇත. මේ නිසා විශ්‍රාමිකයන්ට තවදුරටත් පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවන අතර, එය රටේ පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ විශ්‍රාමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවරක් ද වේ.

“විශ්‍රාමිකයන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම අප සතු වගකීමක්. විශ්‍රාමිකයන් යනු රටට සුවිශාල මෙහෙවරක් ඉටුකළ පිරිසක් නිසා සෑම විටම ඔවුන්ට උපරිම පහසුවක් සැලසීමට අප කටයුතු කළ යුතුයි. විශ්‍රාමිකයන් වෙනුවෙන් මේ ආකාරයට ජෛවමිතික සත්‍යාපනය ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ පහසුකම ලබාදීමට හැකිවීම විශාල සතුටක්. මෙමඟින් ඔවුන්ට වඩාත් ඉක්මණින් ජීවිත සහතික ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් මා සෙලාන් බැංකුවට ස්තූතිවන්ත වනවා” යැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාවේ විශ්‍රාමිකයන් වෙනුවෙන් මේ ආකාරයට ජෛවමිතික සත්‍යාපන ක්‍රමය ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අප සතුටට පත්වෙනවා. ජීවිත සහතිකය යනු විශ්‍රාමිකයන් වසරක් පාසා ඉදිරිපත් කළ යුතු ලියවිල්ලක් නිසා, එය කිසිඳු දුෂ්කරතාවකින් තොරව ලබාගැනීමට ඔවුන්ට හැකියාව තිබිය යුතු බව අප විශ්වාස කරනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරමින් එම පහසුකම විශ්‍රාමිකයන් වෙත ලබාදීමට අපට හැකි වුණා. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් අප සෑම විටම උත්සාහ කරන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත සවිබලගන්වන සහ ඔවුන්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන විසඳුම් හඳුන්වා දීමටයි. එම උත්සාහයේ තවත් පියවරක් ලෙස මේ ආකාරයට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා” යැයි සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසී ය.

සමාජය තුළ විශ්‍රාමිකයන් ඉටුකරන භූමිකාව බෙහෙවින් අගය කරන සෙලාන් බැංකුව, විශ්‍රාමිකයන්ගේ මූල්‍ය ස්වාධීනත්වය හා ස්ථාවරත්වය තහවුරු කිරීමට කැපවී සිටී. ඔවුන් වෙනුවෙන් ඉතුරුම් සේවා රැසක් හඳුන්වා දීමට සෙලාන් බැංකුව මේ වනවිට කටයුතු කර ඇති අතර, හුදෙක් ඉතුරුම් ගිණුමකින් ඔබ්බට ගොස් විශ්‍රාමිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ එකතුවක් පිරිනමන ‘සෙලාන් හරසර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

විශ්‍රාම දිවිය සතුටින් හා සැහැල්ලුවෙන් ගතකිරීමට ඔබට අවශ්‍ය විශිෂ්ට මට්ටමේ සේවා සහ ප්‍රතිලාභ රාශියක් හිමිකර ගැනීම සඳහා ‘සෙලාන් හරසර’ පවුලට එක්වන මෙන් සෙලාන් බැංකුව මෙරට සියලුම විශ්‍රාමිකයන්ට ආරාධනා කරයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාවෙන් හෝ www.seylan.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments