රියදුරන් හා බෙදාහැරීම් හවුල්කරුවන් 5000කට අක්ෂි පරීක්ෂණ සහ නිවැරදි පෙනීමක් ලබා දෙන කණ්ණාඩි නොමිලේ ලබා දෙයි
Uber, ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් පහිටුවා ඇති මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා කාර්ය සාධක බලකාය සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කරන ලදී. ඇස් පෙනීමේ දුර්වලතා හේතුවෙන් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි.
එම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස Uber විසින් කොළඹ නගරයේ සිටින රියදුරන් සහ කුරියර් හවුල්කරුවන් 5000කගේ අක්ෂි පරීක්ෂාව නොමිලේ සිදු කිරීම හා පෙනීම නිවැරදි කර ගැනීම වෙනුවෙන් රුපියල් 2000 බැගින් ලබා දීමට කටයුතු කර ඇත. මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 2කට අධිකය. මෙම සත්කාරය සඳහා සේවාවන් සැපයීම වෙනුවෙන් Eyecare ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමටද Uber කටයුතු කර තිබීම විශේෂත්වයකි. මෙහි සමාරම්භක අවස්ථාවට එක් වූ ගරු රථ වාහන නියාමන, බස් ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් ඉහළ ශ්‍රේණිගත කිරීම් හිමි කරගත් UBER හි රියදුරු හවුල්කරුවන් සහ Uber Eats හි බෙදා හැරීම් හවුල්කරුවන් වෙත පෙනීම නිවැරදි කිරීමේ ඇස් කණ්ණාඩි ලබා දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ගරු රථ වාහන නියාමන, බස් ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා “ඉහළ යමින් පවතින මාර්ග අනතුරු සංඛ්‍යාව හේතුවෙන් ඇති වන මහජන අවදානම හා සෞඛ්‍ය අවදානම අප ඉතා හොඳින් දන්නා කරුණක්. ඇස් පෙනීම අඩු වීම එවැනි අනතුරුවලට ප්‍රධාන සාධකයක් ලෙස අපගේ මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන තිබෙනවා. වර්තමානයේදී Uber පුද්ගලික සමාගම් විසින් ඔවුන්ගේ රියදුරන් සහ බෙදාහැරීම් හවුල්කරුවන්ගේ පෙනීම නිවැරදි කිරීම සඳහා සහයෝගය ලබා දීම තුළින් එවැනි අනතුරු අවම කර ගැනීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළ හැකියි. ඇත්තටම Eyecare ආයතනය සමඟ එක්වෙමින් නොමිලේ ඇස් පරීක්ෂා කිරීමේ සහ පෙනීම නිවැරදි කිරීමේ කණ්ණාඩි පරිත්‍යාගය සඳහා Uber ආයතනය මගින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යොමුවීම ඉතා කාලෝචිත ප්රයත්නයක් ලෙස අගය කළ යුතුයි ’‘ යනුවෙන් පැවසීය.
මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හි Uber Sri Lanka හි සාමාන්‍යාධිකාරිණී භව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියේ “ Uber නිරන්තරයෙන් ප්‍රමුඛත්වය ලබාදෙන්නේ ආරක්ෂාවට යි. වසර ගණනාවක් තිස්සේ අපි අපගේ මට්ටමින් ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණය මූලික කරගත් විශේෂාංග මෙන්ම මානව මැදිහත්වීම් භාවිත කිරීමට කටයුතු කර තිබෙනවා. අප විසින් මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා කාර්ය සාධක බලකාය සමඟ ඇති කරගනු ලැබූ හවුල්කාරීත්වය මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් සහාය වීමට වැදගත් පියවරක් වනු ඇති බව මගේ විශ්වාසයයි. Eyecare ආයතනය සමග එක්ව අප සමඟ කටයුතු කරන රියදුරන් සහ බෙදාහැරීම් හවුල්කරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය අක්ෂි ප්‍රතිකාර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඔවුන්ගේ ගමන් බිමන් වඩාත් ආරක්ෂාකාරී බවට පත් කිරීමට අපට හැකි වනු ඇති බව මගේ හැඟීමයි.”
මේ යටතේ නොමිලේ ඇස් පරීක්ෂා කර ගැනීමට කැමති රියදුරන් සහ බෙදාහැරීම් හවුල්කරුවන් සතියේ දිනයන්හි උදේ 8.30 සිට සවස 6.30 දක්වා කොළඹ Eyecare ආයතනයට පැමිණිය යුතුය.