Monday, December 23, 2024
HomeBiz Newsජෝන් කීල්ස් සමූහය කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ...

ජෝන් කීල්ස් සමූහය කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි ..

ජෝන් කීල්ස් සමූහය නොවැම්බර් 25 වන දිනට යෙදුණු කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේදී (International Day for the Elimination of Violence Against Women) ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා තමන් දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කළේ ය. මේ වන විට එම සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා තිරසාර හා විවිධ කණ්ඩායම් අරමුණු කරගත් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වසරේදී 8 වන වරටත් ‘Project WAVE’ (Working Against Violence through Education) වාර්ෂික වැඩසටහනද ක්‍රියාවට නංවන ලද අතර, මෙවර එහි තේමාව වූයේ ‘ප්‍රචණ්ඩත්වයේ චක්‍රය අවසන් කරන්නට: නැගී සිටිමු! හඬ නගමු!’ යන්නයි. මේ යටතේ, ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සමූහයේ මානව සම්පත් අංශයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සහ ඉලෙක්ට්‍රොනික හා සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් සිදු කෙරිණි. මීට අමතරව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දැනුවත් කිරීමේ සැසි මාලාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබූ නමුත් මැතිවරණය හේතුවෙන් එම වැඩසටහන කල්දැමීමට සිදුවිය. රැකියා ස්ථාන තුළ මෙන්ම පොදු සමාජය තුළ වඩාත් සුරක්ෂිත හා අන්තර්කරණය සහිත පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විසින් සමූහයේ කාර්ය මණ්ඩලය වෙත නිකුත් කරන ලද නිවේදනයක මෙසේ දැක්විණි. “රටේ කාන්තා ජනගහනය 52% කට ආසන්න වී තිබියදීත් ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය තවමත් තුනෙන් එකක මට්ටමක පැවතීම කනගාටුදායක කරුණකි. කාන්තාවන්ට ලැබෙන අවස්ථා සීමා වීම සඳහා සමාජයේ මුල්බැසගත් ආකල්ප ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් නිසා ඔවුන් රැකියා වෙත යොමුවීම, අඛණ්ඩව රැකියාවන්හි නිරත වීම හෝ ව්‍යාපාර සිදු කිරීම සීමා වී තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ඒ සම්බන්ධ ගැටලු ආමන්ත්‍රණය කිරීම ජෝන් කීල්ස් සමූහයේ චර්යාධර්ම මාලාවේ අනිවාර්ය අංගයකි. එමෙන්ම සමූහයේ ‘වෙනස් කොට සැලකීමට එරෙහි ප්‍රතිපත්තිය’ සහ ‘ලිංගික හිංසනය පිටුදැකීමේ ප්‍රතිපත්තිය’ මගින් එම කාරණය තවදුරටත් තහවුරු කර ඇත. රැකියා ස්ථානයේදී සිදුවන ඕනෑම ආකාරයක ලිංගික හිංසනයක් සඳහා සමූහය තුළ කිසිදු සමාවක් නොලැබේ. අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනා වෙනුවෙන් සුරක්ෂිත රැකියා පරිසරයක් නිර්මාණය කර පවත්වාගෙන යාම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කැප වී සිටී.”

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපයෝජන පිටුදැකීමේ අරමුණින් 2014 වසරේදී ආරම්භ කළ Project WAVE (Working Against Violence through Education) වැඩසටහනේ දස වර්ෂ පූර්ණය මෙම වසරට යෙදී තිබේ. එම වැඩසටහන මගින් දශකයක් පුරා ඉටු කරන ලද මෙහෙවර සම්බන්ධයෙන්, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය. “අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන්, ආයතනික ප්‍රතිපත්ති අභ්‍යන්තරීකරණය කිරීමේ ක්‍රියාවලියට පිටුබලයක්  වී ඇති අතර, ඉලක්කගත ප්‍රජා සත්කාර සහ මහජන ප්‍රචාරණ වැඩසටහන් හරහා වැඩි පිරිසක් දැනුවත් කිරීමට අපට හැකි වී තිබෙනවා. හිංසන චක්‍රයන් වැළැක්වීම සඳහා ඇති හොඳම මග අධ්‍යාපනය හා දැනුවත් කිරීම් සිදුකිරීම බව විශ්වාස කරමින් 2014 වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කරන ලද Project WAVE වැඩසටහන මගින් මිලියන 4.9 කට අධික පිරිසක් ආවරණය කිරීමට අපට හැකි වුණා. මෙයට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය මෙන්ම නීතීඥයන්, පොලිස් නිලධාරීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යන්, පාසල් දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් සහ පොදු මහජනතාව ඇතුළු කාණ්ඩ රැසක් ඇතුළත්. මේ යටතේ අප පොදු ප්‍රවාහන සේවාවන්හිදී සහ වෙනත් පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය පිටුදැකීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය සම්පත් සහ පුහුණු පහසුකම් ලබාදීම ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවූවා.”

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ මෙහෙවරට අමතරව Project WAVE වැඩසටහන දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහාද කැප වී සිටී. ජාතික ළමා දිනය වෙනුවෙන් “සෑම දරුවෙකුටම යහපත් අනාගතයක්” සහ “අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි” යන තේමා යටතේ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කළේ ය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත් වැඩසටහනක් වූයේ, Cinnamon Grand Colombo සහ Cinnamon Citadel Kandy එක්ව ක්‍රියාවට නැංවූ දැනුවත් කිරීමේ සැසි මාලාවයි. ECPAT Sri Lanka හි සහයෝගයද හිමි වූ මෙම වැඩසටහනට Power of Play මගින් පවත්වන ලද රූකඩ සංදර්ශනයක්ද ඇතුළත් විය. මෙහිදී පෞද්ගලික ආරක්ෂාව හා අපයෝජන වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් 11 ක සිසු සිසුවියන් 160 කට අධික පිරිසක් දැනුවත් කිරීමට හැකියාව ලැබිණි. මීට අමතරව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ LEADS සමග එක් වී, ජෝන් කීල්ස් පදනමේ ‘ප්‍රජා ශක්ති’ ප්‍රදේශ අතරින් කොළඹ 02 සහ රණාල යන ප්‍රදේශවලදී සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පෙළක්ද ක්‍රියාවට නංවන ලදි. මෙම වැඩසටහන්වලට සිසු සිසුවියන් 535 දෙනෙකු සහ දෙමාපියන් 145 දෙනෙකු සහභාගී වූ අතර, ඉදිරියේදී ජා ඇල සහ මොරටුව යන ප්‍රදේශවලද මෙබඳු වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.

සමාජ සෞඛ්‍යය හා සහජීවනය යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික සමාජ සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ 4 න් (නව වර්ගීකරණය අනුව) එකකි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදසමාජභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments